Thursday, 12 September 2019

මගේ ජීවිතේ ඇරඹුම ඔබේ ආදරයයි

             උපුටා ගැනීමකි

Saturday, 24 August 2019

කාන්තාරයේ කුසුම


කාන්තාරය යනු ඉතා දුෂ්කර එමෙන්ම කර්කශ දේශගුණයක් පවතින්නා වූ ප්‍රදේශයකි. මෙම කතාවේ කතා නායිකාව වන වාරිස් ඩයිරි එම කාන්තාරයේ පිපිණු කුසුමකි. කාන්තාරයේ කුසුමක් හට ගන්නේ ඉතා දුර්ලභව මෙන්ම සෝමාලියානු ජාතිකයන් අතර පිපිණු දුර්ලභ මලක් ලෙසට වාරිස් හැදින්විය හැකිය.
   
  කාන්තාරයේ කුසුම (Desert Flower ) කෘතියේ මුල්කතෘවරු  වන්නේ කැත්ලින් මිලර් හා වොරිස් යන අයයි. රංජිත් කුරුප්පු විසින් මෙය සිංහලයට පරිවර්තනය කර තිබේ. 

  කවර වූ සමාජ ක්‍රමයක් තුළ වුවද එම සමාජයට ආවේණික වූ සංස්කෘතියක් තිබේ. එම සමාජයන් තුළ ජීවත් වන සෑම මනුශ්‍යයෙකුම මෙකී සංස්කෘතිය තුළ ජීවත් වේ. ඇතැම් විට මෙසේ සංස්කෘතියකට එල්බ සිටීම ඔවුන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු වේ. මෙම කවර වූ සංස්කෘතියක් වුවද පුරුෂ මූලික සමාජයක බිහි වූ ඒවාය. පුරුෂ මූලික සමාජයක් තුළ බිහි වීම මත මෙම සංස්කෘතිය මගින් ස්ත්‍රීයට අවාසි වේ. ඇයව පීඩාවට පත් කිරීමේ එක් සාධකයක් ලෙසට මෙම සංස්කෘතිය පෙන්වාදිය හැකිය. කාන්තාරයේ කුසුම නැමති ග්‍රන්ථය ඔස්සේ පිළිඹිබු වනුයේ මෙකී සංස්කෘතිය තුළ රාමුවකට කොටු වූ ස්ත්‍රී ජීවිතයේ අදුරු පැතිකඩක් පිළිබඳවය.

          පිරිමියාගේ අනාගත සුඛ විහරණය උදෙසා ස්ත්‍රීය පිරිසිදුව නිර්මලව සිටිය යුතු බවට සිතන පුහු මානසිකත්වයෙන් යුතු පුරුෂ මූලික සමාජයක අදටත් අප ජීවත් වෙති. ස්ත්‍රියගේ කන්‍යාභාවය ආරක්ෂාව කිරීමට සෝමාලියානු ජාතිකයන් අතර ප්‍රචලිත ක්‍රමයක් වන්නේ ගැහැණු ළමයින්ව කුඩා කාලයේදීම චර්මඡේදනය කිරීමට ලක් කරයි. මෙම කතාවේ එන වාරිස් ද අවුරුදු තුනකතරම් කුඩා වයසේදී මෙම අමානුශීය අවස්ථාවට මුහුණ දෙයි. ඒ සදහා යොදා ගනු ලැබුවේ කලින් භාවිතයට ගත් ලේ තැවරුණු බ්ලේඩ් තලයක් බව ඇය පවසයි.කුඩා වයසේ දැරියකට දැරිය නොහැකි අන්දමේ වේදනාවක් මෙම සමාජය තුළ ලබා දෙයි. කෙසේ නමුත් අනිවාර්යයෙන් කල යුතු මෙම කාර්‍යය නිසාවෙන් අධික ලේ වහනය වීමෙන් මිය යන දැරියන්ද සිටින බව වාරිස් පවසයි.
      දරුවන් 12 කින් යුතු එඩේර පවුලක දැරියක් වූ වාරිස් ඇගේ වයස අවුරුදු 13 දී ඔටුවන් පස් දෙනෙකු දෑවැද්ද ලෙස හිලව්වට ගෙන අවුරුදු 65ක පමණ මහලු මිනිසෙකුට විවාහ කර දීමට සූදානම් වෙයි. ඊට අකමැති වෙන වාරිස් සිය මවගේද උදව් ඇතිව නිවසින් පලා යයි. ඒ මොගඩිෂු නගරය වෙතටය. මෙලෙස නගරයට යන අතරවාරයේදී ඇයට විවිධ අතවරයන්ට මුහුණ පෑමට සිදු වන අතර ඇය තුළ පැවති හැකියාව මත උපායශීලීව එම සියලුම අවස්ථාවන්ගෙන් ඇය මිදීමට සමත් වෙයි.

  ලන්ඩනයේ තානාපති නිවසේ සේවය කිරීමට ලැබෙන වාරිස්ට එහි සිටම ඉංග්‍රීසි ඉගෙන ගැනීමටද වාසනාව උදා වෙයි. මෙලෙස සිටින කාලයේදී ඇයට මුණගැසෙන මිතුරියක මාර්ගයෙන් ඇය මෝස්තර ශිල්පිනියක් ලෙස ජීවිතය ආරම්භ කරන ලදී. සංස්කෘතිය නැමති රාමුවේ සිරවී සිටි ඇය මිතුරියන්ගේ උපදෙස් මත සිය චර්මඡේදනය ඉවත් කර ගැනීමට කටයුතු කරයි. ඉන් නොනැවතුණු ඇය චර්මඡේදනයට විරුද්ධව කටයුතු කිරීම සිදු විය.

        මෙම කතාව තුළින් කාන්තාවකට සමාජයේ අත්විඳීමට සිදු වන පීඩාවන් මනා ලෙස දක්වා තිබේ. මෙය ප්‍රබන්ධ කතාවක් නොවන නිසාවෙන් ඉදිරිපත් කර තිබෙන සියලු සිදුවීම් සත්‍යය ඒවා වේ. තවමත්  සෝමාලියානු වැසියන් අතර මෙම චර්මඡේදනය ක්‍රියාත්මක වේ. එසේම තවත් රටවල් ගණනාවක මෙම අමානුශීය ක්‍රියාව සිදු වෙයි. මුත්‍රා කිරීමේදී, මාසික ඔසප් වීමේදී දැරියන් මුහුණ දෙන වේදනාව වාරිස් සිය අත්දැකීම් ඔස්සේම දක්වා තිබේ. එසේ පීඩාවට පත් කරනාමෙවැනි සංස්කෘතියක් කුමකටද? නමුත් අවාසනාව නම් එය ආගමික සංකල්පයක් යැයි සිතා දියණියන්ව චර්මඡේදනයට පත් කරනා මව්වරුන්ද එම සමාජයේ ජීවත් වෙති. මුස්ලිම් සමාජය තුළද අඩු වයසින් විවාහ ක්‍රමය ක්‍රියාත්මක වන කාල වකවානුවක ස්ත්‍රීයට සාධාරණයක් ඉටු නොවන්නේය. මා මෙය සටහන් කරන මොහොතේදී නැතිනම් ඔබ මෙය කියවන මොහොතේදී මේ ලොවේ කොතනකම හෝ තැනක පිරිමියෙකුගේ උවමනාවට මූලික කාන්තා අයිතිවාසිකමක් අහිමි කර කෲර නින්ධිත ලෙසට සුන්නත් කිරීමක් සිදු වනවාට සැකයක් නොමැත. නිර්භීත දැරියක් වූ වාරිස් මෙම සංස්කෘතික රාමුවෙන් පිටතට පැමිණීම නිසාවෙන් ඇයට තමාගේ උරුම ජීවිතය ලබා ගැනීමට හැකි විය. නොඑසේනම් ඇයද සෝමෝලියානු කාන්තාරයේ පිපි කුසුමක් ලෙස හිද ගිනියම් රස්නයට විනාශ වී යන කුසුමක් වන්නට ඉඩ තිබුණි. 

                     ✏️ගයනි මධුෂිකා ගමගේ 


Saturday, 10 August 2019

පතිවත..🌼🙅🌼

විවාහය දා රැයේ
කාමරයේ දොරගුලු විවර වී
මතු වූයේ සුදු රෙද්දක් අතැතිව
මාගේ දයාබර නැන්දම්මාය

පරම්පරාවෙන් එන
කුල සිරිතයි මේ අපේ
පතිවත ඇත්දැයි බලන්න
අලුත ගෙනා ලේලියගේ

මෙන්න මේ සුදු රෙද්ද
දා ගන්න ඇද උඩට
හෙට උදේම රෙදි නැන්දා එයි
ප්‍රතිඵල අරන් යන්න

ලොකු පුතා වගේම
කොලු පැටියෙන් ඕන වෙනවා
පරම්පරාවේ නම්බුව
ඉස්සරහට ගෙනියන්නට

මේ අහගනින් ලේලියේ
නැති උනොත් පතිවත
ලැහැස්ති වෙයන් හෙට උදේම
මේ ගෙදරින් පිට වෙන්නට
           ✏️     ගයනි මධුෂිකා ගමගේ             



Sunday, 4 August 2019

ගර්භනී කාලයේදී කාන්තාවන් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?


ෆෝලික් අම්ලයේ විටමින් B9 අඩංගු වේ.එය කාන්තාවක් ගැබ්ගත් විට පමණක් නොව කාන්තාවක් දරුවෙකු  පිළිසිඳගැනීමට   සැලසුම් කරන විටද ප්‍රයෝජනවත් වේ. අළුත් සෛල සෑදීමටත්, තිබෙන සෛල ආරක්ෂා කිරීමට සහ ඒවා සෞඛ්‍ය සම්පන්නව තිබීමටත් ෆෝලික් ඇසිඩ් ශරීරයට අවශ්‍ය වේ.

ෆෝලේට් ලෙසද  හදුන්වන ෆොලික් අම්ලය ස්නායු නාල වල අඩුලුහුඬුකම් විවිධ ආකාරවලින් වැළැක්වීමට  උපකාර කරයි.එමෙන්ම මොළයේ ආබාධ වැළැක්වීම සහ උපතේදී සිදුවෙන සුසුම්නාවේ  ආබාධ වළක්වයි.සෛල නිපදවීම,  බෙදීම සහ රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම වැනි ප්‍රධාන කර්තව්‍යයක් සිදු කරයි. ෆෝලික් අම්ලය මගින් දරුවන් තුළ Megaloblastic Anemia සැදීම වළක්වයි.

ස්නායු නාල වල ආබාධ  වැලැක්වීමට  දරුවා පිළිසිඳ ගැනීමට  මාස තුනකට පෙර සහ පිළිසිඳගැනීමෙන් මාස තුනක්  යනතුරු  ෆෝලික් ඇසිඩ් පෙති ලබා දෙයි.



  • දිනකට ෆොලික් අම්ල සම්පුර්ණ  ප්‍රමාණය 400 mcg නොඉක්මවිය යුතු බව විශේෂඥයෝ පවසති .

  • ගර්භනී තත්ත්වයට පත් වීමට බලාපොරොත්තු වන කාන්තාවන් : mcg 400

  • ගර්භනී තත්ත්වයට පත් වී, මුල් මාස තුන ඇතුළත : mcg 400

  • ගර්භනී තත්ත්වයට පත් වී මාස 4 – 12දක්වා : mcg 600

  • මව්කිරි දෙන කාලය ඇතුළත : mcg 500
    ෆෝලික් අම්ලය භාවිත කල යුතුය .

Saturday, 3 August 2019

සෙල්ෆි උන්මාදය

අපි සෙල්ෆියක් ගහමු....
ලස්සනට ඉන්නකෝ...
හිනා වෙන්නකෝ....
මේ වචන කිහිපය ඔබත් ඕනතරම් පවසා ඇති.එසේ නැතිනම් ඔබට කවුරුන් හී පවසා ඇති .

අද සෑම දෙනා අත රැඳෙන දුරකතනය නිසා පෙර මෙන් සාමාන්‍ය ජනතාවට ඡායාරූප අරුමයක් නොවේ. පෙර තමාගේ සොඳුරු මතකයන් ඇල්බමයක රදවා තබා ගැනීමට වෙහෙස වුණු ජනයා වර්තමානය වන විට සිය ජංගම දුරකතනයම ඒ සදහා භාවිත කරනු ලබයි.විශේෂ උත්සව අවස්ථාවකට හෝ ස්ටුඩියෝවකට ගොස් ගැනීමට යෙදුණු ඡායාරූපය අද ඇත්තේ ඇඟිලි තුඩක දුරිනි. දුරකතනයක් ගැනීමේදි ඉන් කතා කිරීම කෙසේ වෙතත් එහි කැමරා උපාංගය ගැන ජනතාව විමසිලිමත් වෙති. පෙර නොවූ විරූ සංකල්පයක් වන සෙල්ෆි මිනිස් ජීවිතයේ දෛනික අංගයකි.

සෙල්ෆි කියන්නේ අද වන විට ලොකු කුඩා කා අතරත් බෙහෙවින් ජනප්‍රිය දෙයක්නේ.විශේෂයෙන්ම ගැහැණු ළමයි මේ සෙල්ෆි උන්මාදයට නැඹුරුවීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරනවා.තමන්ගේ සෙල්ෆියක් ෆේස්බුක්,Instagram වල අප්ලෝඩ් කරන්න ඔවුන් දක්වන්නේ ඉමහත් කැමැත්තක්.
මෙය මෑත යුගයේ නූතන තාක්ෂණයත් සමඟ අපේ වහරට ආ වචනයකි. තමන්ගේ ඡායාරූප තමන් විසින්ම ලබාගැනීමේ මේ තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වීමට ගත වූයේ ඉතා සුළු කාලයකි. දැන් මේ 'සෙල්ෆි' ගැනීම අපේ රටේද ඇතැමුන් අතර උන්මාදයක් බවට පත්ව ඇති බව පෙනී යයි.

නවීන තාක්ෂණය නිසා අද ලෝකය පුංචි වී තිබේ. ඇමෙරිකාවේ සිදු වන ඕනෑම දෙයක් තත්පර ගණනකින් පසු ලෝකයේ ඕනෑම තැනක සිට ඡායාරූප සමඟින් අපට දැකගැන්මට හැකි වී තිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි. මේ තත්ත්වය වඩාත් වර්ධනය වූයේ පුරවැසි මාධ්‍ය හෙවත් Citizen Journalism මාධ්‍ය ලෝකයට පැමිණීමත් සමඟය. ඒ අනුව ‍'ෆේස්බුක්' හා 'ඉන්ස්ටර්ග්රෑම්' ලෝකය පුරා පැතිර යන්නට වූයේ බාල මහලු තරුණ ලොකු කුඩා කවුරුනුත් අතරේය. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ක්ෂණයකින් ලොව පුරා ව්‍යාප්ත කිරීමට මේ ‍සන

'සෙල්ෆි...'

මේ මෑත යුගයේ නූතන තාක්ෂණයත් සමඟ අපේ වහරට ආ වචනයකි. තමන්ගේ ඡායාරූප තමන් විසින්ම ලබාගැනීමේ මේ තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වීමට ගත වූයේ ඉතා සුළු කාලයකි. දැන් මේ 'සෙල්ෆි' ගැනීම අපේ රටේද ඇතැමුන් අතර උන්මාදයක් බවට පත්ව ඇත.

තමන් විසින්ම තම සේයාරූ ලබාගැනීම එක් අතකින් තවත් අයකු පුදුමයට පත් කළ හැක්කක් බවට සෙල්ෆි ආරම්භක අවදියේදී පෙනී ගියද එය පසුකාලීනව සාමාන්‍ය දෙයක් බවට පත් විණි. එහෙත් මෙහි භයානකම අවස්ථාව උදා වන්නේ සෙල්ෆි උන්මාදය හා අවදානම් සෙල්ෆිය ක්‍රියාකාරී වීමෙන් පසුවය.

මෙම සෙල්ෆි උන්මාදය හේතුවෙන් මේ වනවිට ජීවිතය හැර ගිය පිරිස් පිළිබඳව තොරතුරු අපට මාධ්‍ය මගින් පසුගිය කාල වකවානු තුළ අසන්නට දකින්නට ලැබුණි.සෙල්ෆි යනු හුදෙක් විනෝදාස්වාදය සදහා භාවිත කරන්නක් වන අතර එයින් ජීවිතය අනතුරට ලක්කර ගැනීම ගැටලු සහිත කාරණාවකි.
සෙල්ෆි ගත යුතුය .නමුත් ඉන් තමාට හානියක් නොවීමට වගබලා ගැනීමද අත්‍යවශ්‍යය.

Tuesday, 30 July 2019

පලතුරු වල ඔබ නොදත් ගුණ

 පලතුරු කියන්නේ අපි හැමෝම ආහාරයට ගන්න දෙයක්. පලතුරු ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් ඉතාම සෞඛ්‍යමත් දෙයක් හැටියටයි ගණන් ගැනෙන්නේ. අතීතයේ පමණක් නොව වර්තමානයේ පවා ගම්බද ගෙවතුවල පලතුරු ගසක් වරදින්නේ නැහැ. මේ නිසා පලතුරු ආහාරයට එක් කර ගැනීම ගැමියන්ට ඒ තරම් අභියෝගාත්මක එකක් නොවුණත් ඒවා මිලට ගැනීමට සිදුවන නාගරික ජනයාට නම් මේවායේ වැඩිවන මිල හොඳින් දැනෙනවා  
පලතුරු ආහාරයට ගත්තත් ඒවායේ තියෙන ගුණ ගැන ගොඩක්  දෙනෙකුට අවබෝධයක් නෑ. ඉතින් ඒ ගැන ඔයාල නොදන්න ඒත් ඔයාලට වැදගත් වෙන කරුණු කිහිපයක් මේ ලිපියෙ අන්තර්ගත වෙනවා.

දෙළුම්


  • පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහි ව දෙළුම් යොදා ගත හැක.
  • ඖෂධ භාවිතයකින් තොරව අධි රුධිර පීඩනය අවම කර ගත හැක
  • දියවැඩියාව පාලනය කරයි
  • හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම 
  • සන්ධිවලට හානි කරමින් අස්ථි සන්ධිප්‍රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම දෙළුම් යුෂ සහ ඇට මඟින් මතකය වර්ධනය වීම

අනෝදා


  •  පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ නතර වීම
  • මාරාන්තික ආසාදන වළක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කිරීම
  • ශරීර ශක්තිය වර්ධනය කිරීම
  • දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරිවල ගුණාත්මය වැඩි වීම
  •  පාචනය හා උණ වැළදීම අඩු වීම
  • අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ හැකියාව

මිදි


  • සමේ රෝග, උගුර ආශ්‍රිත රෝග ආදියට ගුණදායක ය.
  • ආහාර රුචිය ඇති කරයි.
  • ඉදුණු මිදිවල මූත්‍රාකාරක ගුණය අඩංගු අතර, සිහිල්ය. .
  • පිපාසය, උදරයේ දැවිල්ල, උණ, ක්ෂයරෝගය, සෙංගමාලය, ඇදුම, වමනය, අක්‍ර‍මවත් ඔසප් වීම, ශරීර තරබාරුව සහ කතා කිරීමේ අපහසුතාව වැනි රෝග තත්ත්වවලට ගුණ ලබාදෙයි. ආමාශයේ අම්ල තත්ත්වය අඩුකර, ආහාර ජීර්ණය පහසු කරයි.
  • ,වයස්ගතවීම වළක්වා, තරුණ බව රැක දෙයි.

  • මිදිවල අඩංගු යකඩ, නීරක්තිය හෙවත් ලේ හිඟ බවට සහනය ලබා දෙයි.
  • .මිදිවල අඩංගු මැලික්, සිට්රික්, ටාටරික් ආදී අම්ල මගින් රුධිරය පිරිසුදු වේ.
  • අන්ත්‍ර‍ සහ වකුගඩු ක්‍රියාකාරීත්වය උත්තේජනය වෙයි.
  • මූත්‍රා දැවිල්ලට මෙන් ම වේදනාකාරී ඔසප් වීම, අක්‍ර‍මවත් ලෙසින් ඔසප්වීමේදී රුධිරය පිටවීම සහ ආතරයිටිස් රෝග තත්ත්වවලට ගුණ ලබා දෙයි.

බෙලි


  • හිසරදය පාලනය කරයි
  • ආහාර මාර්ගයේ රෝගී තත්වවලට ගුණදායකයි
  • අම්ල පිත රෝගය සම්පූර්ණයෙන්ම සුව කරයි.
  • බඩ පිපුම පාලනය කරයි.
  • පණු රෝග නිසා හටගන්නා උදරයේ වේදනා දුරු කරයි.
  • මල බද්ධය සුව කරයි.
  • අර්ශස් රෝගයට ගුණදායකයි.
  • ශරීරයේ විජලනය පාලනය කරයි.
  • ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියාවට එරෙහිව සටන් කරයි.
  • වයිරස් ආසාදන වලක්වයි
  • දහදිය දුගඳ පාලනය කරයි.
  • ප්‍රිතිඔක්සිකාරක ගුණය නිසා සම රැකදෙයි.
  • සමේ රෝග පාලනය කරයි.
  • සමේ පිළිකා ඇතිවීම වළක්වයි.
  • නින්ද නොයන අවස්ථාවල ඖෂධයක් ලෙස භාවිතා කරයි.
  • අතීසාර රෝගයට ගුණදායකයි.
  • ආහාර දිරවීම හොඳින් සිදුකරයි.
  • ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගුණය වැඩිකරයි.
  • ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කරයි.
  • ආතරයිටීස් රෝගයට ගුණදායකයි.



මනුස්සකම


Monday, 29 July 2019

කතා හදන උන් සේරම බෝසත්ද?


Sunday, 28 July 2019

ජීවිතේ හරි පාර පෙන්නුවේ අම්මා


Saturday, 27 July 2019

මාගම් සෝලිය (කාන්තාවක් නිසාවෙන් හාමුදුරුවන් වහන්සේ නමකට එල්ලවන චෝදනාව)

මොහාන් රාජ් මඩවල ශූරීන්ගේ මාගම් සෝලිය නවකතාව පිලිබද විමසුමක් 


                        වර්තමානය තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වන්නා වූ අග්‍රගන්‍ය නවකතා කිහිපයක් රචනා කරන ලද කතුවරයෙකු ලෙස මොහෝන් රාජ් මඩවල ශූරීන් හදුනාගත හැකිය. මාධ්‍යවේදියෙකු ලෙස තම කලා දිවිය ආරම්භ කළ හෙතෙම නිවේදකයෙකු ලෙස මෙන්ම ලේඛකයෙකු ලෙස සමාජය තුළ දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලදී. සැබෑ ජීවිතය තුළ අත්විදින්නට නොලැබෙනා සිද්ධි දාමයක් ඔහු තම කතා තුළින් විදහා දැක්වේ. ඔහු රචනා කරන ලද ලොවීනා,ආදරණීය වික්ටෝරියා,ආදී ග්‍රන්ථ තුළින්ද මේ බව දැකගත හැකිය. 

මාගම් සෝලිය යනු කාන්තාවක් නිසාවෙන් එල්ල වන්නා වූ චෝදනාවකි. එනම් ගැහැණියක් මුල්කර ගනිමින් ගමේ පන්සලේ හාමුදුරුවන්ට එල්ලවන චෝදනාව මෙයින් ඉස්මතු කර දක්වයි. මෙම කතාව සදහා වස්තු විශය වී තිබෙන්නේ ක්‍රි ව 1809 ත් 1819 ත් අතර කාල වකවානුවයි. ඉංග්‍රිසින්හට උඩරට ප්රදේශය භාරදීමත්, 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලත්, ඒ හා සමග ඌවේ ගම්මානයක සිදු වූ මෙන්ම සිදු නොවූ සිද්ධීන් රැසක් මෙම කතාවට පාදක වී තිබේ. යථාර්ථවාදයෙන් ඔබ්බට ගොස් අධියථාර්ථවාදී බවකින් යුක්ත වාග් රටාවක් මෙම කතාව තුළ අන්තර්ගත වේ. මෙය පාඨකයාව සිය ග්‍රහනයේ තබා ගැනීමට මඩවල ශූරීන් ගත් උත්සාහයක්ද විය හැකිය. 

 ඌව වෙල්ලස්ස ග්‍රාමයේ එක් පවුලක් කේන්ද්‍රකර ගනිමින් මෙම කතාව විකාසනය වේ. ඒ පුංචි රාළගේ හා ගෝමරීගේ පවුලයි. ගෝමරී යනු පුංචි රාළගේ දෙවන කසාදයේ බිරිදයි. පුංචි රාළට දාව ඇය දරුවන් සත් දෙනෙකු වදන අතර පුංචි රාළගේ පළමු කසාදයෙන්ද සුදු බණ්ඩා නමින් දරුවෙකු වූවාය. සුදු බණ්ඩා යනු ගෝමිරීට නොරුස්සනා චරිතයකි. නිතරම වැඩ පැවරීම හා බැනීම හැරුණු විට ගෝමීරී සුදු බණ්ඩා වෙනුවෙන් කල දෙයක් නොමැත. නමුත් දිනක් ගෝමරීගේ පිට අතුල්ලන්නට කී මොහොතේ ඔහුගේ අත ඇයගේ ශරීරයේ ස්පර්ශ වීමත් සමග ගෝමරීගේ ජීවිතයට නැවත ප්‍රාණයක් හිමි වන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ ගෝමරී තම දරුවෙකු මෙන් වූ සුදු බණ්ඩා සමග රමණයේ යෙදීමයි. නමුත් පුංචි රාළ මෙම අසම්මත ආදරය දැන ගැනීමත් සමග සියල්ල කණපිට පෙරළේ. සුදු බණ්ඩාව නිරුවතින්ම පන්සල වෙත රැගෙන ගොස් හාමුදුරුවන්ට භාර කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. ඉන් නොනැවතුණු පුංචි බණ්ඩා ගෙදර නෑවිත් මාසයක් පමණ හේනට වී සිටින්නට විය. ගෝමරීගේ කුසින් බිහි කළ වල්ලි ගෙට වීමත් සමගින් ඇයවත් රැගෙන හේනේ පදිංචියට යන්නේ ඉන් අනතුරුවය. තම ලෙයින්ම ජාතක කළ දියණිය සමග ඔහු සහවාසයේ යෙදෙන්නේ ගෝමරී කෙරේ ඇති වෛරය නිසාවෙන්ද විය හැකිය. පන්සලට ගෙන ගිය සුදු බණ්ඩා ඇබිත්ත කොලුවා වීමත් ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමගින් ඇබිත්ත උන්නාන්සේ වීමත් සිදු වේ.

ඒ අතර සුදු බණ්ඩාට දාව ගෝමරී සිය අටවන දරුවා ලෙසට බිංදු බිහිකිරීමත් සිදු විය. නමුත් බිංදු කිසිම දිනක මව්කිරි හැරුණුකොට වෙන කිසිම දෙයක් ආහාරයට ගත්තේ නැත. ඔහු මව සේ ලෙන්ගතු වූයේ තම වින්නඹු අම්මා වූ පොඩිනාටය.ඇය විවාහක කාන්තාවක් නොවූවත් බිංදු වෙනුවෙන් ඇයට කිරි එරෙන්නට විය. ඇතැම් වෙලාවක ඇය බිංදුට කිරි පොවන්නේද බලෙනි. ඒ තරමටම ඇයගේ පියයුරු කිරි වලින් පිරී තිබුණි. 

අන්තිමට තවත් කිරි බරණි වල ඉතුරු වූයෙන් ඒවා ගමේ සියලු බල්ලන් බළලුන් එක්රැස් කර ඔවුන්ට ඇති තරම් බොන්නට කිරි දානයක් දුන්නා ය එපමණක් නොව මේ හැම දවසකම මැණික් සිය මවට නාගන්නටත් පුංචා නාවන්නටත් ඇතිතරම් කිරි ගෙදරට පිටත් කර හැරියාය


වල්ලී තම මව වූ ගෝමරීව පිළිකුල් කිරීමත් සමගින්ම ඇය මිය ගිය බව පවසමින් ඇයව තම සිරුරට ආරූඩ කර ගෙන සාත්තර කීම ආරම්භ කරන ලදී. එය ගම්මුන්ට විහිළුවක් සේ හැගී ගියද ආරච්චිගේ මව මිය ගොස් යැයි සිතා වල දෑමූ පසුව වල්ලී විසින් ඇය ජීවත්වන බව පවසා මිනිය නැවත ගොඩ ගැනීමත් සමග එය විශ්වාස කිරීමට පටන් ගන්නට විය. මහනුවර රජ වාසලේ වදකයින් විසින් ඇහැලේපොළ මහ අදිකාරම්ගේ දෙටු පුතු වූ මද්දුම බණ්ඩාරගී හිස කදින් වෙන් කෙරුණ මොහොතේදී ලොකු හාමුදුරුවන්ගේ හුස්මද අවකාශයට එක් විය. රාජසිහ රජු විසින් ඇහැලීපොළ නිළමේත් බිරිද හා දරුවනුත් මරා දමන ලදී.
සුරඹාගේ බිරිද වූ සොබනී සිය දෙවන දරුවා ප්‍රසූත කලද එම දරුවා මිය ගොස් තිබුණි. ඊ සමගින් පරල වන සුරඹාගේ මව 

සැක්කර හාමුදුරුවනේ..මේ මොන හෙණ හතක් ගහලද අපට..මී පරට්ටි අපී ලී උරා බොන්න ආපු යක්ෂණියක්..කොපමණ ලේ ගොටු දුන්නත් මී යකින්නිගේ ලේ පිපාසේ යන්නේ නෑ

               යනුවෙන් ඇයට බැන දෑඩි ලෙස පීඩා පමුණුවයි.  මේ ‌හේතුව නිසාවෙන් ඇබිත්ත උන්නන්සේ සොබනීව පන්සලට කැටුව ගොස් ඇයගේ තුවාල සුව කරයි. නමුත් ඇයට සුව වූ පසුත් පන්සලට වී සිටින අතර ඇයගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට හාමුදුරුවන්ගේ පිහිට පතයි . ඒ අනුව සොබනී නිවුන් දරැවන් දෙදෙනෙකු බිහි කරන අතර ඔවුන් හාත්පසින්ම වෙනස් ස්වරූපයන් ගන්නට විය. මෙම සිද්ධීන් අතර වල්ලී නිලමෙගේ පුතා සමග පෙමින් බැදෙන අතර එයට විරුද්ධ වන නිලමේ එහා ගමේ ආරච්චිලාගේ දුවට පොඩි නිලමේව විවාහකර දෙයි. නමුත් වල්ලීගේ ශාප බන්ධනය හේතුවෙන් එම විවාහය සාර්ථක වන්නේ නැත. එම නිසා පොඩි නිලමේ වල්ලීගේ නිවසේ බින්න බැසීම සිදු විය. 1818 වසරේ ඉංග්‍රීසීන් ගමට පහර දීමත් සමගින් ගම සොගොන් පිටියක් බවට පත් විය. මේ පහර දීම්වලින් පොඩිනාද මියගිය අතර බිංදුට ආහාරයක් නොමැති විය. මන්ද කිරි බීමට පමණක් හුරුවී සිටි ඔහුට අනෙක් කෑම අප්‍රිය විය. මේ නිසාවෙන් ඔහු රෝගාතුර වූ අතර මැණිකා ඔහුව නිරුවත්කර ඔහු දෙසම බලාගෙන අක්ෂි මුද්‍රා භාවනාව සිදු කෙරීය. මේ අතර ගෝමරීගේ දරුවෙකු වූ එතනාට මෙන්ම ගමේ බොහෝ දෙනෙකුට වසූරිය රෝගය වැළදී මිය ගියේය.එයින් ගෝමරීද මරණය වැළද ගන්නට විය.කැරැල්ල ඇති වූ අවස්ථාවේ ගමෙන් පැන ගිය වල්ලීටද මෙම වසංගත රෝගය වැළදී යලි ගමට එන්නේ මෙම කාලයේදීය. ඇයව සුව වන්නේ ලොකු හාමුදුරුවන්ගේ සිරුරෙන් ගලා ගිය ලේ පිරවූ බරණිය හමු වීමත් සමග වසගතය වැළදුන අයට එම ලේ පානය කිරීමට  දීමෙනි.මේ සියල්ල අවසානයේ දොළොස් හැවිරිදි නොඉදුල් කන්‍යාවක වූ මැණිකා ගැබ්බර වී සිටියාය
බිංදු මිය යන්නට සතියකට විතර පෙර ඔවුන් දෙදෙනා ලොව සියල්ලන්ගෙන්ම වෙන්වී දෙදෙනාගේ සිරුර දිහා නිරුවතින් බලාගෙන එහෙත් එහෙත් දෙදෙනාගේ සිරුරු ස්පශ කරන්නේවත් නැතිව සතියකටත් වඩා සිටි හැටි ඇයට මතක් වුණේය.
අවසානයේ ඇය ඕපපාතික දරුවෙකු කුස තුළ දරාගෙන සිටී.


මෙම කතාව පුරාවටම මායාරූපීභාවයක් ඉස්මතු කර දක්වයි. 

ලොකු හාමුදුරුවෝ බෝධි වෘක්ෂයට පිටුපා පද්මාසනයෙන් සිටියහ. උන්වහන්සේගේ ශරීරය තිබුණේ බෝ මළුව උඩ වැලි කැට ස්පර්ශ කරමින් නොවේ. බෝ මළුවට බඹ දෙක තුනක් ඉහළිනි.

යනුවෙන් ලොකු හාමුදුරුවන් භාවනා කරන අවස්ථාව දක්වා තිබේ.එමෙන්ම සුදු බණ්ඩාට දාව ගෝමරීගේ කුසෙන් වැදූ බිංදු පිළිබදව ඉතා අපූර්ව ලෙස ඉස්මතු කර දක්වයි 

බිංදුට මාස දෙක පිරෙන විට ඇවිදින්න පටන් ගත්තේය. හොදට කතා කරන්න පටන් ගත්තේය.

සුරඹාගේ අම්මාත් ඇයගේ නැගණියත් සොබනීට දැඩි පීඩා දීමෙන් පසු පත් වූ තත්වය ඉදිරිපත් කරනුයේ දැඩි මායාරූපීභාවයෙනි.

 එහෙත් පුදුමය වුණේ දෙදෙනා කොයි කවර තැනක හිදගෙන හිටියත් ඇවිදගෙන ගියත් ඒ මිට මොළවාගත් අත් වලින් වැලි කට එකින් එක බිම වැටීමය.

ලිංගිකත්වය පිළිබදවද මේ තුළ අධියථාර්ථවත්බවින් ඉදිරිපත් කරයි. ගෝමරී සුදු බණ්ඩා සමග රමණයේ යෙදීම 


මං යන්නද කුඩම්මෙ පිලට
ඔහොම ඉඳහං  මගෙ පපුව ටිකක් හිර කරනවා… පපුව ටිකක් අත ගාපං
ඔහු ඇය සිටි පැත්තට හැරුණේය…. මට සීතලයි බං… මාව බදා ගනින්…
ඇය ඔහුගේ ගෙල සිපගත්තාය. කන් පෙති අත ගෑවාය. දත්වලින් නිකට හැපුවාය. දෙතොල් උරා බීවාය….
පසුව ඔහුගේ ඇඟ උඩට නිරුවතින් නැග මුළු ජවයෙන්ම ඔහු බදාගෙන යටි බඩ ඔහුගේ සිරුරට තද කරගෙන කෙඳිරිගාන්නට වුණාය.



ඇබිත්ත උන්නාන්සේ සොබනී සමග රමණයේ යෙදීමේ අවස්ථාව

සිංහල හෝරා දෙකකට විතර පසු රමණයේ කෙළවර දෙදෙනා සම්පූර්ණ නිරුවතින් සයනය මත පද්මසානයෙන් හිඳ ඔවුනොවුන් දෙස බලාගෙන එහෙත් නෙත් පියාගෙන භාවනානුයෝගීව සිටියහ
ඒ සමාධි සුවය විඳිමින් තවත් හොරා දෙකක් ඔවුහු පද්මාසනයෙන් සයනය මත නෙත් පියාගෙන සිටියහ


අතීතයේ දවසක ඇබිත්ත කොලුවා බෝධි වෘක්ෂය අසලදී ලොකු හාමුදුරුවන්ගේ සිරුර අවකාශයේ පාවෙමින් තිබෙනු දුටු විදිහටම එවේලේ ඇබිත්ත උන්නාන්සේගේ සිරුර අවකාශයේ පාවෙමින් තිබුණේය



මායාරූපීභාවය තීව්‍ර ලෙස උද්දීපනය කරන ලද නවකතාවක් ලෙසට මෙය හැදින්විය හැකිය. කෙසේ නමුත් පාඨකයාව මනෝ ලොවක් කරා ගෙන යාමට කතුවරයා දක්වන ලද ප්‍රයත්නය ඉතාම සාර්ථක යැයි මට හැගේ.ඒකාකාරී ශෛලියෙන් මිදී වෙනස්ම ආරකට නවකතා කලාව ගෙන යන්නාවූ කෘතියක් ලෙස මෙය හැදින්විය හැකිය. කාමය හා ලිගිකත්වය පිළිබදව වැඩි වශයෙන් කතාබහට ලක් කරයි. ඉතිහාසය පුරා පැවත එන සම්මත හා අසම්මත ආදරයන් මෙයින් ඉදිරිපත් කරයි.

Friday, 26 July 2019

යථාර්ථය


Monday, 22 July 2019

චීන අක්ෂර කලාවේ උපත

                                         

                     ලොව වැඩි ම ජනගහනයක් කතා කරන භාෂාව බවට පත්ව ඇති චීන භාෂාව චීන ටිබෙට් භාෂා පවුලේ   ආදරය ලැබූවකි-චීන භාෂාව සතු අද්තීයත්වය මැනවින් වටහාගැනීමට නම් එහි අක්ෂර සම්භවය පිළිබඳ දැනුම්වත්භාවය අත්‍යවශ්‍ය වූවකි-චීන අක්ෂර වනාහි නූතන තාක්ෂණයෙන් ස්වයංපෝෂිතව පරිණාමය වූ අක්ෂර කොට්ඨාශයක-ි අක්ෂර ලක්ෂයකින් පමණ සමන්විත වන්නා වූ මේ අසහාය බසෙහි හුරුව ලබාගනන්ට අවැසි අයෙකුට අක්ෂර තුන් දහසක පමණ දැනුවත්භාවයක් පැවතීම ප්‍රමාණවත් ලෙස සැලකේ

                 පෞරාණික චීන අක්ෂර වනාහි රූපවලින් සමන්විත වූ අක්ෂර සමූහයකි- “ශාං” රාජ වංශය සමයේ චීන මිනිසුන් භාවිත කළ අක්ෂර එවන් රූපවලින් යුක්ත වූ බවට කරුණු අනාවරණය වේ- එය චීන අක්ෂරයන්හි මූලාරම්භය සනිටුහන් වූ අවධිය බවට කිසි දු සැකයක් නැත- මේ අක්ෂර සකස් ව ඇත්තේ අවට පරිසරයේ වසන්ත මැනවින් නිරීක්ෂණයට භාජන කර ඒවා රූපයට නැගීමෙනි-මීට වසර 4000 ට පමණ පෙර විසූ චීන ජනයා මේ රූපමය අක්ෂර යොදා ගනිමින් ඓතිහාසික කරුණු වාර්තාගත කළ අතර ම අන්‍යෝන්‍ය සන්නිවේදන කටයුතු පවත්වා ගෙන යෑමට ද ඒ අක්ෂර යොදාගන්නට ඇත- ඔවුන් ඒවා ඉබි කටු සහ තවත් සත්ත්ව අස්ථි කැබලිවල ලේඛනගත කර ඇත- මේවා හඳුන්වනු ලැබුවේ “ජ්‍යා ගූ වන්” ලෙස යි- “ජ්‍යා” යනු ඉබි කටු යි- “ගූ” යනුවෙන් චීන භෂාවේ හැඳින්වූයේ සත්ත්ව අස්ථි යි. “වන්” යනු අක්ෂර වේ- මේ වන විට මේ අක්ෂර හාර දහසක් පන් සියයක් පමණ සොයාගෙන ඇතත්, ඉන් භාවිතයේ පවතින්නේ අක්ෂර එක් දහස් පන් සියයක් පමණි-සත්ත්ව අස්ථිවල අක්ෂර කොටා තැබීමෙන් පසු ව කාලයාගේ ඇවෑමෙන් ලෝහ පතුරුවල ලේඛනගත කිරීම ආරම්භ විය- මේවා “ජින් වන්” යනුවෙන් හැඳින්විණි- “ජින්” යනු ලෝහ යි- මෙකී “ජින් වන්” හා “ජ්‍යා ගූ වන්” අතර වෙනස නම්, ලෝහ පතුරුවල ලේඛනගත කළ අක්ෂර සත්ත්ව අස්ථිවල ලේඛනගත කළ අක්ෂරවලට වඩා අලංකාරාත්මක හා නිර්මාණාත්මක ස්වභාවයෙන් යුක්ත වීම යි- ඉන් පසු ව ඇරැඹුණේ මුද්‍රා ක්‍රමය යි- “චූ වන් ෂු” ලෙස හැඳින්වෙන මේ මුද්‍රා ක්‍රමවේදයෙන් අනුව සිය නම කොටා අනන්‍යතාව පවත්වාගෙන යෑමට චීන ජනයා පුරුදු ව සිටිය හ- මේ අක්ෂර ලිවීමේ පියවර (ඉරි කෑලි) ගණන තව දුරටත් අවම කර “ලීෂූ” නම් අක්ෂර ක්‍රමවේදය භාවිතයට ගැනුණු අතර, එය වත්මන් චීන අක්ෂර හා බොහෝ දුරට සමානකමක් දක්වයි- නූතන චීන ග්‍රන්ථ රචනා කර ඇත්තේ මේ අක්ෂර භාවිතයෙනි

චීන රූපාක්ෂර බිහිවීම 

                       චීන අක්ෂර ඉතිහාසය පිළිබඳ විවරණයේ දී, රූපාක්ෂර කලාවට හමිි වන්නේ සවිුශෙෂ සථ්ානයකි වසර 4000 ඉපැරණි චීන අක්ෂර කලාව, රූප භාවිතයෙන් සැකැසුණු අක්ෂර කලාවක් විය- වර්තමානයේ භාවිත වන චීන අක්ෂර පිළිබඳ ගැඹුරින් නිරීක්ෂණය කරීිමේ දී,ඒවා සතුව පැවති ප්‍රාග් ඓතහිාසක ස්වරූපය මැනැවින් වටහාගත හැකි වේ- සිංහල මාතෘ භාෂකයන් වන අපහට එවන් රූපාක්ෂර කලාවක් පිළිබඳ අසන්නට නො ලැබෙන්නේ,සිංහල බස එවන් රූපාක්ෂරයන්ගෙන් ඇරැඹි ඉතහිාසයකට උරුමකම් නො කියනා බැවිනි- එමෙන් ම සිංහල අක්ෂර නිරීක්ෂණයෙන් පවා එවන් ඉතිහාසයක් පිළිබඳ නිගමනවලට එළැඹිය හැකි නො වේ- එනමුත් චීන බස යනු සැබැවින් ම සංකේතානුසාරී රූප ඇසුරෙන් ගොඩනැගුණු බසක් බවට කසිදු සැකයක් නොමැත-මෙය අසාමාන්‍ය තත්ත්වයක් නො වන්නේ වත්මන් සමාජයේ පවා බොහෝ විට සංකේත රූප ඇසුරෙන් සන්නිවේදන කටයුතු සිදු කරන බැවිනි. නිදර්ශන ලෙසට මාර්ග සංඥා පුවරු මෙන් ම පොදු ස්ථානවල දැක්වෙන නොයෙකුත් පුවරු සැලැකිය හැකි ය- චීනයේ භාවිත වූ මේ සංකේතානුරූපී අක්ෂර විලාසය සියලු සමාජයනට පොදු වූ භාෂාවක් හා සන්නිවේදන ක්‍රමයක් බිහි කරවාලන්නට මුල පිරුවා විය හැකි ය-

               ජපානය, කොරියාව හා වියට්නාමය වැනි වෙනත් රාජ්‍යයන් පවා චීන අක්ෂර ආභාසයට නතු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසට විය හැකි ය- ඉහත සඳහන් වූ “ජ්‍යා ගූ වන්” මෙකී රූපාක්ෂරවලට සමීප වන්නා වූ අක්ෂර රටාවකි. නිදර්ශන ලෙසට, රූපාක්ෂර භාවිතයෙන් මිනිසා සංකේතවත් කරන ලද්දේ අත් පා පැහැදිලි ව පෙන්නුම් කෙරෙන මිනිස් රූපයක් ඇසුරෙනි- ජලය සංකේතවත් කරන ලද්දේ ගලාගෙන යන ජලය රූපයට නැංවීමෙනි- තව ද ඇතැම් සංකීර්ණ අදහස් සන්නිවේදනය අරමණු කරගනිමි සංකේත කිහිපයක් යොදා තනි රූපාක්ෂරයක් සකස් කිරීමට යෙදුණි- නිදර්ශනයක් ලෙසට, “විවේකගැනමී”  සංකේතවත් කරන ලද්දේ මිනිස් රුවක් හා වෘක්ෂයක් යොදාගෙන වෘක්ෂය පා මුල මිනිසා ගිමන් හැරීම යන සංකල්පය පෙර දැරි කොටගෙන ය- වෘක්ෂයක් පා මුල ගිමන් හැරීම කෙදිනක දී වුවත් ගතට සුවදායී වේ යන්නෙහි නිත්‍ය බව එදා චීන අක්ෂර බිහි කළ ආදි මානවයාගේ සිතෙහි ඇති වූ පුදුම සහගත සිතුවිල්ලක් බව පැවැසිය හැකි ය. යාන්ත්‍රිකරණයේ හිණි පෙත්තෙහි වැජැඹෙන නූතන සමාජයේ මිනිසා ද එකල නිර්මාණය වූ දූරදර්ශී චීන අක්ෂර පුරාණ අක්ෂර යැ යි ඉවත නො දමන්නේ ඒ හේතුව නිසා ම යැයි පෙනෙන්නට තිබේ.

                තව ද චීන අකෂ්ර සකස් කිරීමේදී දී කසිදු නිශ්චිත කම්‍රවේදයක් අනුගමනය නො කළ බවට කරුණු අනාවරණය වී ඇත- “විශාල” යන විශේෂණ පදය සන්නිවේදනය කිරීමට යෙදුණු රූපාක්ෂරය වන්නේ මිනිසකු තම දෑත විහිදුවා විශාලත්වය මවා පෑම දක්වන සංකේතයකි- මෙවැනි රූප පදනම් කරගෙන ගොඩනැඟුනු ක්‍රමවේද ඔස්සේ චීන බස මුල් කාලීන ව සත්ත්ව අස්ථිවල කැටයම් කර, පසු කාලීන ව මුද්‍රණ ශිල්පියේ අනුහුරුව ලබමින් ග්‍රන්ථාරූඪ කරන ලදි- නූතන තාක්ෂණයේ ආභාසය ලබමින් චීන බස නූතන යුගයට පා තැබුව ද, මුල් කාලීන රූපාක්ෂර කලාව එහි වත්මන් අක්ෂරවලින් මුළුමනින්ම ඉවත් වී නොමැති බව නූතන අක්ෂර අධ්‍යනය කිරීමෙන් අවබෝධ වේ 

             පැරණි චීන අක්ෂර සම්ප්‍රදායික අක්ෂර බවට පත්වීම
              
                     දෛනික ක්‍රියාකාරකම් වාර්තා කොට තැබීමේ අවශ්‍යතාව පදනම් ව ඇරැඹි චීන අක්ෂර කලාව, රූපාක්ෂර කලාවෙන් ආරම්භ ව අක්ෂරයක් ලිවීමට අවශ්‍ය වන පියවර ගණන අඩු කරමින් පහසුවෙන් ලිවිය හැකි සරල අක්ෂර ක්‍රමවේදයක් බවට පත් වීමත් සමඟ ලේඛන කලාව වඩාත් පහසු කටයුත්තක් බවට පත් විය- එසේ නිර්මාණය වූ අක්‍ෂර hanzi නමින් චීන සමූහාණ්ඩුවෙහි ප්‍රචලිත විය- මෙලෙස සරල තත්ත්වයට පරිවර්තිත චීන අක්ෂරවලින් ඉපැරැණි රූපාක්ෂර කලාව ඉස්මතු වී පෙනෙන ආකාරය අපූර්ව ය- සරල චීන අක්ෂර ලැයිස්තුවක් ප්‍රථම වරට චීන ජනරජයෙහි ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1964 වර්ෂයේ දී ය-

          ඒ අනුව රූපාක්ෂර කලාවේ සිට වත්මන් චීන අක්ෂර කලාව දක්වා පැමිණි ගමන් මඟ පිරික්සා බැලීමේ දී වඩාත් තර්කානුකූල ලෙස චීන බස සකස් ව ඇති බවත්, එහි විද්‍යානුකූල භාවය නො නැසී පවතින බවත් නිගමනය කළ හැකිය- එමෙන් ම චීන බස සතු ව පවත්නා අර්ථාන්විත බව හේතුවෙන් ඕනෑ ම පුද්ගලයකුට චීන අක්ෂර පහසුවෙන් ග්‍රහණය කර ගැනීමත් එහි අර්ථය වටහාගැනීමටත් මතකයේ රඳවාගැනීමත් දුෂ්කර නො වනු ඇත- ඒ අනුව චීන භාෂාව දෙවැනි භාෂාවක් ලෙස හදාරන තැනැත්තකුට නූතන අක්ෂර පිළිබඳ ව මෙන් ම පුරාවිද්‍යාත්මක බවින් අනූන රූපාක්ෂර පිළිබඳ ව ද දැනුම ලබා සිටීම ඉතා වැදැගත් බව සැලැකිය හැකි ය- වඩා වැදැගත් ම කරුණ වන්නේ චීන අක්ෂර සතු නිර්මාණාශීලීභාවය ඉතා ඉහළ මට්ටමක පැවැතීම හේතුවෙන් ද්වීතීයික භාෂාවක් ලෙස චීන බස  ඉගැනුම ලබන අයකුට හෝ චීන අක්ෂරවල ඉතිහාසය පිළිබඳ පර්යේෂණ සිදු කරන අයකුට එය බස අධ්‍යයනය කිරීම මෙන් ම ගවේෂණය කිරීම ද වඩාත් රසවත් ලෙස හැඟීම යි-

Saturday, 20 July 2019

මනුස්සකමට ජාතියක් මොකටද?

Add caption

Wednesday, 17 July 2019

නිර්මාණයක විචාරය (සුනිල් දයානන්ද කෝනාර ශූරීන්ගේ ගමට කලින් හිරු ගීතය ඇසුරින්)

නිර්මාණයක විචාරය
(සුනිල් දයානන්ද කෝනාර ශූරීන්ගේ ගමට කලින් හිරු ගීතය ඇසුරින්)   
සුනිල් දයානන්ද කෝණාර
                 


 කෝණාර හාමිලාගේ පුංචි බණ්ඩාර පියාණන්ටත්, රණවීර ආරච්විලාගේ රන්මැණිකේ මෑණියන්ටත් දාව 1952 ජූලි 1 වන දා දඹදෙණිය මුතුගල ගමේ උපත ලැබීය.සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ ඔහු පස්වැනියා විය.ඔහුගේ ජීවිතයේ රිද්මය කියා දෙන ලද්දේ අඩහැර,සී පද හා යාය අස්වැද්දීම,අස්වනු නෙලන දසුන්ය. මුතුගල කනිෂ්ඨ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන ලදී.මොහු ඉතා නිහඩ චරිතයකින් යුක්ත අයෙකු වූ අතර තම දක්ශතාවය නිසා කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. 

                  පාසල් වැඩ කටයුතු වලට මෙන්ම ගමේ වැඩිහිටි පිරිස සමග එක් වී සෞන්දර්ය ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීමට මොහු මහත් සේ රුචිකත්වයක් දක්වන ලදී.රාත්‍රිය පහන් වන තුරු කමත් වල වැඩිහිටියන් පාන අඩහැර ඇසීමටත්,ටීටර් නාට්‍ය වල සර්පිනා වාදනය ඇසීමටත් මහත් කැමැත්තක් දැක්වීය.මොහු සංගීතයේ මුල් අකුරු ඉගනගනු ලැබුවේ පෙරේරා ගුරුතුමියගෙන් හා මුණසිංහ ගුරුතුමියගෙන් ය.දඹදෙණිය කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වී ජයන්තා අරන්දල ගුරුතුමියගෙන් සංගීතය වැඩිදුර හදාරා සම්මාන සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ සමත් විය. නාරම්මල මයුරපාද විද්‍යාලයට උසස් පෙළ හැදෑරීම සදහා ඇතුළත් විය.එහිදී බෞද්ධ ශිෂ්ඨාචාරය,සිංහල,ආර්ථික විද්‍යාව හා භූගෝල විද්‍යාව හදාරා උසස් පෙළ සමත් වන ලදී.මේ කාලය වන විට රජයේ සංගීත විද්‍යාලයට නවක සිසුන් බඳවා ගන්නා බව සැල වී ඒ සඳහා ඉල්ලුම් කරන අතර එහි සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී 1970 දී කොළඹ රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වන ලදී.එහි අධ්‍යාපනය ලබමින් සිටියදී තුන්වන වසරේදී ඩබ්.බී මකුලොලුව මහතාගේ පර්යේෂණ වලට සම්බන්ධ වී නිර්මාණයන් කරන්නට විය.ගුවන් විදුලි ජන සංගීත පර්යේෂණ ඒකකයේ වැඩසටහන් වලට සම්බන්ධ විය.පහනින් පහන,කාලගෝල,නරිබෑණා නාට්‍ය වල අත්වැල් ගායනයට එක් විය.
                            මේ කාලයේදී “අවාරේ මී මොර මල් ”ගීතය රචනා කරන්නට විය.අවුරුදු දෙකක් ඉතා දුෂ්කරතා මැද කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ සංගීතය උගන්වන ලදී.ඉන් අනතුරුව ආරාධනාවක් මත දඹදෙණිය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස සේවයට ගියේය.ශාස්ත්‍රීය අධ්‍යාපනය සදහා ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් විය.ගුවන් විදුලි බී ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ඔහු පත් වන ලදී.ඉසිපතනේ මිගදායේ මොහු ගැයූ මුල්ම සරල ගීය වේ. ඉන් අනතුරුව මොහුට පද රචනය සදහා අවස්ථාව හිමි විය.පිදු අසෙනිය කුසුම,කුප්පි ලාම්පුව,ඈත දුරක ගීත සඳහා සංගීතය නිර්මාණය කරන ලදී.1982 දී ගිරාගම ගුරු විද්‍යාලයේ අධ්‍යන කටයුතු අවසන් කරන ලදී.1983 දී පියාගේ අභාවය සිදු විය.මොහු ලියා සංගීතවත් කරන ලද ගීතයක් ලේක්හවුස් ආයතනය සංවිධානය කළ භක්ති ගීත තරගයකින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.නන්දා මාලනීගේ ඇරයුමක් මත “වහින්නට හැකිනම් ගිගුම් දී ”ගීතය රචනා කරන ලදී.2012 දී මොහු තම ගුරු දිවියට සමු දෙන්නට විය.මොහුගේ සංගීත මෙහෙය ලෙස 
සංගීත නිර්මාණය-පාවඩ ටෙලිනාට්‍ය, අන්දරේ ටෙලිනාට්‍ය, රයිගම්පළ වේදිකා නාට්‍ය, මවුස් ච්ත්‍රපටය 
පද රචනය-මහ වැස්සක් බිමට හෙලා, සමනල පාලම උඩ, රත්නපුරෙන් ගෙන ආ සමන්මල්, දිය බෙරලිය දලු නෙළන්න ගිය දා, පාන්දරින් ඉස්කෝලෙට, ගමට කලින් හිරු
                යන නිර්මාණයන් පෙන්වා දිය හැකිය.මේ අතරින් විශිෂ්ට නිර්මාණයක් වන්නේ ගමට කලින් හිරු ගීතයයි.මෙහි පද රචනය හා සංගීත නිර්මාණය සිදු කරන ලද්දේ මොහු විසින්මය.2016 දෙසැම්බර් 07 මොහු සිය දිවි ගමනින් සමු ගන්නට විය 

ගමට කලින් හිරු ගීතයේ පොදු නිර්මාණාත්මක ලක්ෂණ 


         සුනිල් දයානන්ද කෝණාර විසින් රචනා කරන ලද ගමට කලින් හිරු ගීතය සදහා ඔහු පාදක කර ගෙන තිබෙන්නේ උදාරතර මව් සෙනෙහස පිළිබදවයි. මවක් යනු දරුවෙකුට මේ ලොව අවංකවම ආදරය කරන්නා වූ තැනැත්තියයි. ඇයගේ ආදරයට සමාන කල හැකි ආදරයක් මේ මිහිපිට තවත් නොමැත. ඒ උත්තරීතර මව් සෙනෙහස පිළිබදව අපූර්ව ලෙසට මෙම ගීතය තුළින් ඉස්මතු කර දැක්වීමට රචකයා සමත් වී තිබේ.
      
    ඔහු තම නිර්මාණය සදහා මව් සෙනෙහස මෙන්ම ගැමි පරිසරය හා ආගමික පසුබිමද දායක කර ගෙන තිබේ. තම කුඩා කල සිටම හැදී වැඩුණු ගැමි පරිසරය එම ගැමි කම සිය නිර්මාණ ඔස්සේද විදහා පෑමට ඔහු අමතක කර නැත. එම නිසාවෙන් ගැමි පරිසරයට උචිත වන අන්දමේ භාෂා රටාවක් ඔහු සිය නිර්මාණය තුළට ආරෝපණය කර ගෙන තිබේ. මෙම නිර්මාණය දෙස අවධානය යොමු කිරීමේදී 
1 වස්තු විෂය 
2 භාෂා රටාව 
3 සංකල්ප රූප මැවීම 

                    යනාදී ලක්ෂණ දැක ගැනීමට හැකිය. ඔහු මෙම නිර්මාණයේ වස්තු විෂය සදහා යොදා ගනු ලැබුවේ සිය මවගෙන් ලද ආදරය හා උණුසුමයි. සිය මව තමා ඇතුළු සහෝදර සහෝදරියන්ට ආදරය කළ ආකාරය මෙන්ම ඔවුන් කෙරෙහි දක්වන ලද සෙනෙහස මේ ඔස්සේ ඉස්මතු කර දක්වා තිබේ. ඒ ඔස්සේ ලොව සියලුම මව්වරුන් තම දරුවන් කෙරෙහි දක්වන්නා වූ ආදරය ගෙන හැර පෑමට රචකයා මෙහිදී සමත් වී ඇති බව දැක ගැනීමට හැකිය. උදෑසන අවදි වූ මොහොතේ පටන්ම තම දරුවන්ගේ යහපත වෙනුවෙන් මව්වරුන් කරන්නා වූ කැප කිරීම කොපමණද යන්න මේ ඔස්සේ හෙළි කර දක්වයි.

            මව් සෙනෙහස උද්ධීපනය වන අන්දමටම මෙහි භාෂා රටාවද හසුරවා තිබීම මෙම ගීතය හදවත් තුළට කා වැදීමට හේතු සාධකයක් වී තිබේ. මවි සෙනෙහසේ මහිමය කියා පෑමට රචකයා මෙහිදී ගැමි ජීවිතය හා සබැඳි මිනිසාට වඩාත් සමීප සිද්ධි මෙන්ම භාෂාවද යොදා ගෙන තිබේ. කලාවැවේ නිල් දියවර, මහමායාවනි,වෙල්දෙණි,විශාඛාව, ඇත් රැජිණියනේ යන ලෙසට අලංකාර මෙන්ම හිතට කා වදින ආකාරයේ වචන භාවිතා කර තිබේ. මේ ඔස්සේ බුද්ධ කාලයේ උත්තරීතර කාන්තා චරිත හා සමානවම මවගේ චරිතය ඉස්මතු කර දක්වයි. ඒ ඔස්සේ මව යන චරිතය උත්තරීතර කර පෙන්වීමටත් බුදුන් වහන්සේගෙන් පවා ගෞරවයට පාත්‍ර වීමට තරම් මව සමත්කම් දැක්වූ බවත් ජනතා හදවත් තුළට ඉස්මතු කර පෙන්වා තිබේ. එසේම මව යනු සියලුම දුක් කම්කටොලු සිතින් දරා ගෙන නොසැලී සිටින චරිතයක් බව ඉස්මතු කරලීමට රචකයා මහත් වෙහෙසක් දරා තිබේ.
             
        එසේම බෞද්ධාගම හා සම්බන්ධ කර දක්වා මව සියලු දෙනාගෙන්ම වන්දනයට ලක්විය යුතු උත්තරීතර කාන්තා චරිතයක් බව ඔප්පු කරන්නට කටයුතු කර ඇත. බණ පද,බෝ මලුව,පහන් සිල,මෙත් මග යන වචන මෙයට පාදක කර ගෙන ඇත. එසේම සංකල්ප රූප මතු කර දක්වා මවගේ ආදරය කොතරම්ද යන්න ජනතාවගේ හදවතට තීව්‍ර කර ඇත. ඕනෑම නිර්මාණකරුවෙකු සතුව 
1 වාසනා ගුණය 
2 ව්‍යුත්පත්තිය 
3 සතතඅභ්‍යාසය
4 ප්‍රතිභාව 
5 පරිකල්පනය 
6 බහුශ්‍රැතභාවය  

                                    යනාදී වූ ලක්ෂණය පැවතිය යුතු අතර සුනිල් දයානන්ද කෝණාරගේ මෙම ගීතය තුළ මෙකී සියලුම ලක්ෂණ අන්තර්ගත වී ඇති බවක් දැක ගැනීමට හැකිය 


ගමට කලින් හිරු ගීතයේ විචාරය






      සුනිල් දයානන්ද කෝනාර මහතාගේ පද රචනාවකින් කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඩ මුසුවකින් නිර්මාණය වු ගීතයකි 
       අම්මා යනු මිහ්පිට ඇති වටිනාම වස්තවකි.දරුවෙකු තමාගේ බහ තෝරන වියේදීම කිරි සුවඳ හා මුසුව කියන්නා වූ වචනය අම්මායි.දරුවෙකු වැදූ පමණින් මවක නොවන බවත් මවක වීමේ සුදුසුකම දරුවෙකු වෙනුවෙන් අපිරිමිතව කැපවීම බව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නැමති ජර්මානු නාට්‍යකරුවා හුණුවටයේ කතාව ඔස්සේ සිහිපත් කර තිබේ.
මවිගුණය ඇති අය 
දරුවන් දිනිය යුතු වෙයි 
ගොවි දන මනා වූ 
ලැබිය යුතු වූ සේම ගම් බිම්” 
             අම්මාගෙන් අප ආදරය කරුණාව යන සියල්ල ලබා ගනී. මෙකී උත්තරීතර මව වෙනුවෙන් ගයන ලද ගීතයකි 
ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩනා
ඒ හිරු එළියෙන් නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා

           අප කාටත් කලින් අවදිවන්නී මවයි. ඈ අවදී වූ විගස දුවයන්නේ මුලුතැන්ගෙටයි. ගම්මානයට කලින් හිරු මුලුතැන්ගෙට වඩින්නේ ඒ නිසාවෙනි. ගම එලිය කරන්නට කලින් ඇය තම නිවස ආලෝකමත් කරයි.අවදී වී අහාර පිසියි. සියල්ලම සිදු වන්නේ ඇගේ අතිනි.ගමට කලින් හිරු මුලුතැන්ගෙට වැඩීමෙන් සංකේත්වත් වන්නේ ඇගේ ආලෝකයයි. ගෙදරක මෙන්ම ලෝකයේ ආලෝකය වන්නේද මවයි.වැව යනු ගමක වටිනාම සම්පතයි. තම දිවිය සරු කරනු ලබන්නේ ගමේ වැව මගිනි.එමගින් වැවට ඔවුහු දේවත්වයක් පවා අරෝපණය කරයි.මවද කලා වැවේ නිල්වන් දියට සමාන කරනුයේ මව යනු අප සතු උතුම්ම වස්තුවක් වනවා සේම ඇයට දෙවත්වයක් ආරෝපණය කිරීම නිසාවෙන්ය. සරුසාර කෙත්  අස්වද්දන නිල් දියවර වන්නේ උතුම් වූ අම්මාය.ලාංකීය ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය එකට මුසු කරන්නට කෝණාරයන් මෙහිදී උත්සාහ දරා ඇත.
රෑ කලුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබ්ද හැඩුවත්
සිත් නෑ නිදි විද ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකිනේ
මහමායවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ 
         
                                   දරුවන් උස් මහත් වී වැඩිවියට පත් වුවද මවගේ සෙනෙහසේ අඩුවක් සිදු නොවේ.තම දරුවන් ගෙදරට එන තුරු ඇගිලි ගනිමින් බලා සිටින්නේ මවයි.කොතරම් රෑ බෝ වුවද තම දරුවන් එනතුරු නිදිවරමින් බලසිටින්නී මවයි. ඇය නෙතට පමණක් නොව සිතටටද විවේකයක් නොදෙයි. මවක් මුලු දවස පුරාම නොව ඇය ජීවත්වන කාලය පුරාවටම සිතනුයේ තම දරුවන් පිලිබදවයි. තම දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීමට කල යුතු දේ  ගැන ඇය නින්දේදිත් සිතයි.තම දරුවන් විවාහ වී දරුවන් ලැබූ පසුවද මව තම දරුවන් ගැන සිතීම අත් නොහරියි. එම සෙනෙහස ලැබැදියාව බිදක්වත් අත නොහරියි. දරුවන්ගේ සෙවනැල්ල සේ ජීවීත කාලය පුරාම සිටින්නේ අම්මාය.මවගේ මේ උදාර ගතිගුණ මහාමායවන්ට සමාන කර දක්වන්නේ මේ නිසාවෙනි. මහාමායාව හැර ඇයව සමාන කරන්නට මේ ලොව තුළ අන් කාන්තාවක් නොමැති බව රචකයා ඉස්මතු කර දක්වයි. බුදුන් වහන්සේගෙන් පවා වැදුම් පිදුන් ලැබීමට මහමායාව වාසනාවන්ත විය. එම වාසනා ගුණයම මෙළොව සිටින මව්වරුන්ටද පවතින බව මෙහිදී ව්‍යංගාර්ථයෙන් ඉස්මතු කර තිබේ.

වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සස්‍රේ විිහාඛාව වී
මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිනියනේ ඔබේ නැලවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා
          

                    වෙල් එලිවල ඇව්විදින විට ඇගේ දෙපා රිදෙන්නට පුලුවන. ඇයට ආගම දහමට මුල් තැනක් ලබා දී කටයුතු කිටීමට තරම් සිතට නිදහසක් නොමැත. එම නිසා වෙල්දෙණිවල ඇවිද තම දරුවන්ගේ කුස පිරවීමට වෙහෙස දරන මවට පක්ෂීන්ගේ සුමුහිරි ගීතයන් බණ පද වෙවා යැයි යනුවෙන් කවියා පාර්ථනා කරයි. තවත් විටෙක කවියා මවව ඇත් රැජිනියකට සමාන කරයි. මන්ද අප දිවියේ සිටින දැවැන්තම ශක්තිය මවන් නිසාය. මව යනු සියලුම දුක් ගැහැට විද දරා ගනිමින් ලෝකයාට තම කඳුළු සගවා සිටින්නට සමත්කමක් ශක්තියක්ද ඇති උත්තරීතර කාන්තාවකි. එමෙන්ම ඇය විසින් ගයනා නැළවිලි ගීතය ලොවම නිවනා කවියක් වෙවා යැයි කවියා පතයි. මන්ද මව යනු රටකට ජාතියකට සීමා වූවක් නොව එය මුලු ලොවටම අයිති උත්තරීතරම වස්තුවකි. මවගේ වදන් පවා දරුවකුට සිතට සහනයකි. මවකගේ කටින් කිසිම දිනයකදී දරුවෙකුට අවැඩක් වන අන්දමේ වදනකුදු පිට නොවේ.පහන් වැටක තිබෙන්නා වූ සංයමය ඇයට ලැබේවායි ප්‍රාර්ථනා කරයි. සුළං පහරවල් කොතෙකුත් ආවද පහන් වැටක් නොනිමී සියල්ලන්ටම ආලෝකය  සපයන්නා සේ ඇයටද සිටින්නට ශක්තිය ලැබීමට ප්‍රාර්ථනා කරයි.බුදුන් දැක නිවන් දකින්නටත් අන් අයට නිවනට මග කියන්නටත් ඇයට හැකි වන්නයැයි ප්‍රාර්ථනා කරයි. මේ සියලු කැප වීම් සිදු කරන්නා වූ මවට උත්තරීතර නිවනට මග විවර වන්නට ලොව සෑම දරුවෙකුම ප්‍රාර්ථනා කරන බව රචකයා හෙළි කරයි.මව්ගුණය පිළිබඳව සියලුම හදවත් තුළට කා වැද්දීමට සමත් වූ අපූර්ව නිර්මාණයක් ලෙස මෙය හදුන්වාදීමට හැකිය. 
                 මවකට ආදරය කිරීමට සියලුම ජනතාව යොමු කිරීම මේ ඔස්සේ සිදු කර තිබේ. ගේය පද රචනය හා සංගීතය මෙන්ම ගායනය යන සියලල්කම එක්ව මනාසේ පරිපූර්ණ ගීතයක් ලෙසින් මෙම ගීතය සැලකිය හැකිය.ඔස්සේ සිදු කර තිබේ. ගේය පද රචනය හා සංගීතය මෙන්ම ගායනය යන සියලල්කම එක්ව මනාසේ පරිපූර්ණ ගීතයක් ලෙසින් මෙම ගීතය සැලකිය හැකි ය.


Tuesday, 16 July 2019

සම්ප්‍රදායික බලි යාගයේ ඔබ නොදත් තතු





තුන් දිනක් පේ වෙමින් ඇඳුරා සුවඳ සඳුනෙව්               පිරිබඩා
ගත් තුදුස් වියනක් උඩින් මැසිකොන් අටක් කොටමින්    වැඩා
කොන් අටට අට ග්‍රහත් අට වෙන පාට නිවරද කර           වැඩා
 මින්ම දේ පුන් සඳ රස පතිරුව මහ දසා සිරසේ              වැඩා 

                   අපේ ජන සංස්කෘතියේ අනාදිමත් කාලයක පටන් පැවත එන සම්ප්‍රදායක් ලෙස ශාන්තිකර්ම සම්ප්‍රදාය හැඳින්විය හැකිය. මෙම සම්ප්‍රදායන් වර්තමානය දක්වාම නොවෙනස්ව පැවත ඒම තුළින් පුළුල් සම්ප්‍රදායක් ලෙස මෙය හඳුනාගත හැකිය. තත්වය මෙසේ වුවද වර්තමාන සමාජය තුළ මෙකී ශාන්තිකර්ම සම්ප්‍රදාය පිළිබඳ තොරතුරු අසා දැන ගැනීමට අධ්‍යයනය කිරීමට උනන්දුවක් නොමැති වීම කණගාටුවට කාරණයකි. මෙසේ සිදු වීම මත අනාගතයේ මතු දිනයකදී මෙම ශාන්තිකර්ම සම්ප්‍රදාය අභාවයට ලක් වී යාමට ඉඩ තිබේ. 
සිංහල ජන සංස්කෘතියේ,ජන සම්ප්‍රදායේ බොහෝ මූලයන් සැගවී ඇත්තේ යාග සම්ප්‍රදාය තුළය. යාග ක්‍රම අතර බලි යාගයට හිමි වන්නේ විශේෂිත වූ ස්ථානයකි. ලෝකයේ සියලුම පුද්ගලයන් කවරම හෝ අවස්ථාවක දී කිසියම් හෝ දෙවියෙකු ඇදහූ බව සියල්ලන්ම දන්නා කරුණකි. එපමණක් නොව ඔවුන් දෙවියන් උදෙසා පූජාවන්ද පවත්වා තිබේ. Offering  හෙවත් පූජා යන්න මෙහිදී හඳුනාගත හැකිය. බලි යන්නෙහි ප්‍රධාන අර්ථය පූජාව යන්නයි.මෙම පූජාව ලබන්නා දෙවියෙකු හෝ රජෙකු වීමට හැකිය. ජේ.ඊ.සේදරමන් මහතා විසින් මේ බව බලි යාග විචාරය නොහොත් බලි උපත ග්‍රන්ථය ඔස්සේ පසක්කර දක්වයි .මේ අනුව මානව විකාශයේ ආරම්භක යුගය දක්වාම බලි යාගයේ මූලික පසුබිම විකාශනය වන බව පැහැදිලි වේ. පැරණි ග්‍රන්ථ පිළිබඳව ගවේශනය කිරීමේදී සොයා ගැනීමට හැකි වූ කරුණක් වනුයේ පූර්ව මානව යුගයේදී මිනිසා ස්වකීය ගෝත්‍ර වශයෙන් වෙන් කොට හඳුනා ගැනීමේ සංකේතයක් ලෙස බලි යන නාමය යොදා ගත් බවයි. පුරා විද්‍යාත්මක සාධක අනුව ගලෙන් හෝ දැවෙන් ස්වකීය ගෝත්‍රයේ සංකේත රූපයේ අනුරුවක් සාදා නිවසේ ඉදිරිපිට තැන්පත් කර පුද පූජා පැවැත්වූ බව අනාවරණය f 

  මෙම සියලුම සම්ප්‍රදායන් වල බලි පිළිවෙල පොදු අනුක්‍රමිකතාවයක් ගත්තද සියුම් වූ වෙනමෙම බලි යාගයේ උපත පිළිබඳව සිංහල සමාජයේ පවත්නා මතය උත්තර භාරතය හා සම්බන්ද වෙයි. දඹදිව  මහා සම්මත රජ කල්හි එය ආරම්භ වූ බව එක් මතයක් වන අතර  විශාලා මහනුවර ලිච්ඡවීන්ගෙන් ආරම්භ වූ බව අනෙක් මතයයි. මෙම බලි යාගය ග්‍රහ අපල දුරුවීම පිණිස පවත්වනු ලබයි. එමෙන්ම සුත්ත නිපාතයට අනුව දුක් දුරු කර ගැනීමට, මහාසුතසෝම ජාතකයට අනුව ලෙඩ රෝග සුවපත් කර ගැනීමට, දුම්මේධ ජාතකයට අනුව දරුවන්,ධාන්‍ය හා සම්පත් ලබා ගැනීමට, තත්කාරිය ජාතකයට අනුව පුරයට පිවිසීමට අලුත් 


දොරටුවක් තනන විට ආදී අවස්ථාවන් වල දෙවියන් හා භූතයන් උදෙසා බලි යාග පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ බලි යාගය හා සම්බන්ධ ප්‍රධාන සම්ප්‍රදායන් 05 ක් පිළිබඳව නූතන විද්වතෙකු වන දිසානායක මහතා සඳහන් කරයි. එනම් 
1 උඩරට බලි සම්ප්‍රදාය
2 පහතරට බලි සම්ප්‍රදාය
3 සබරගමු බලි සම්ප්‍රදාය
4 ඌව  බලි සම්ප්‍රදාය
5 නුවර කලාවිය බලි සම්ප්‍රදාය
ස්කම් දැක ගත හැකිය. ඉදිරිපත් කරන ආකාරය, වාද්‍ය භාණ්ඩ, ගායන, නර්ථන ආකාර, පූජා කර්ම ආදියේ යම් යම් වෙනසක් දැකිය හැකිය.මෙම ප්‍රදේශ වල බලි යාගය පිළිබඳව විමසීමේදී නුවර කලාවියේ බලි යාගය විශේෂතා ගණනාවකින් යුක්ත බව 1996 වර්ශයේදී මුදියන්සේ දිසානායක මහතා විසින් රචනා කරන ලද දෙමළ හත්පත්තුවේ ඇදහිලි, විශ්වාස හා ශාන්තිකර්ම නැමති ග්‍රන්ථයේ දක්වා තිබේ.මෙම ප්‍රදේශයට එතරම් වැසි නොලැබෙන අතර වැස්ස ලබා ගැනීමේ අරමුණින් බලි ක්‍රම රාශියක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දේ. සුසුක බලිය,හෙළුවැලි බලිය,ශ්‍රී විශ්ණු හෂරාධිලති බලිය විශේෂිත බලි ලෙස ඔහු පෙන්වා දෙයි. මෙම බලි සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
  ,
1 ඇතුල් පන්තියේ බලි
2 පිට පන්තියේ බලි
ඇතුල් පන්තියේ බලි 7700 ක්ද, පිට පන්තියේ බලි 8400 ක්ද ඇති බව යාගය හා සම්බන්ධ යාතිකාවල කියවෙන බව පියසාර ශිල්පාධිපති මහතා සදහන් කරයි. බලි යාගය පිළිබඳව පොත පතේ සඳහන් වන ආකාරයට මෙන්ම ජනප්‍රවාදගත කරුණු වලට අනුව පන්තියේ බලි නමින් හැඳින්වෙන ප්‍රධාන බලි  
වර්ග 35 ක් පවතින බව හඳුනාගත හැකිය. එනම් අත් බලි,බත් බලි,වැලි බලි,මාංශ බලි,දෙව් බලි,  නරි බලි,යුග බලි,වරුස බලි,වාස බලි,ත්‍රීක බලි,නක්ෂත්‍ර බලි,චක්‍ර බලි,අට රාක්ෂ බලි, ප්‍රතිමා බලි, මංගල බලි, වෙඩි බලි,සක බලි,යක් බලි,අන්ත බලි,කඩ බලි,කුළු බලි,දාස බලි,පක්ෂ බලි, දින බලි,රාශි බලි,සිං සතර බලි,රූප බලි, කල්‍යක්ත බලි,මඩු බලි,අෂ්ට බලි, යාන බලි,පිස්සු බලි,ගිං බලි,මල් බලි,යාන්ත්‍රා බලි ලෙසටය 






            බලි සැකසීම සඳහා යොදා ගන්නා ක්‍රම දෙකක් ශ්‍රී ලංකාවේ භාවිත වේ. එනම් කඩ බලි හා රූප බලි ලෙසටය. කඩ බලි යනු චිත්‍රනය මගින් රෙදි කඩක සකසා ගන්නා බලියයි. රූප බලි යනු මැටියෙන් අඹා පින්තාරු කර සාදා ගන්නා ඇඹුම් බලියයි.බලි නිර්මාණකරණය ක්‍රියාවලිය සරල එකක් නොවේ. එය එකිනෙකට බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි. පොත පතේ මෙන්ම ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට බලි නිර්මාණකරණයේ ක්‍රියා පිළිවෙල මෙසේය.හුඹහ පේ කිරීම, නව පැයට මැටි අත යෙදීම,බලි ඇඹීම,පුද පූජා පැවැත්විම, යාගය පටන් ගැනීම, දේවාරාධනය, පිරිත් හුය අතට දීම, කඩතුරාව ඇරීම, බලි පාවා දීම, පන්දම අතට ගැනීම,අටමගල පෑගීම,කවි ගායනය, මල බුලත් පුටුව, ආතුර අඩව්ව, මංගල අෂ්ටක, කවි සන්න, ශ්ලෝක ගැයීම ,ග්‍රහයින්ට දොල පිදේනි දීම, ග්‍රහ පන්ති කවි ගායනය, සිං කවි ගායනය, ඇඹුම් කවි,  මෝලංගර තටු පිදේනි, කවි ගායනය, සිරස පාද කවි ගායනය,  බලි අවනත්තට කවි ගායනය, ආතුරයාව නිවසට ගෙන යාම ලෙසට බලි  යාගයේ පිළිවෙල දැක්විය හැකිය. බලියක් ඇඹීමෙන් පසු එහි අලංකාර බව මෙන්ම සෞන්දර්යාත්මක ගුණය වඩාත් තීවෘ වන්නේ බලිය වර්ණවත් කිරීම සමගිනි. මෙම වර්ණ සාදා ගනු ලබන්නේ අවටින් සොයා ගනු ලබන ස්වභාවික අමු ද්‍රව්‍ය වලිනි. කළු,කොළ,කහ,රතු,සුදු,තැඹිලි,දුඹුරු යන වර්ණ බහුලව යොදා ගැනීම සිදු කරයි.විශේෂයෙන් මෙම වර්ණ යොදා ගනු ලබන්නේ ඒ ඒ ග්‍රහයන්ට ගැළපෙන ආකාරයට ය. මෙම වර්ණ සාදා ගැනීමට මිදෙල්ල,සිමෙන්ති,රට කහ,බැටරි කුඩු,මදටිය,මකුලු මැටි,කොහොඹ යුෂ ආදිය යොදා ගැනීම සිදු කරයි. 
            බලි යාගයේ වර්තමාන තත්වය පිළිබඳ විිමසීමක් සිදු කිරීමේදී අතීතයේ මෙන්ම වර්තමානය තුළද බලි යාගය භාවිතයට ගන්නා බවක් දක්නට ලැබේ.සමාජ රෝග හා ලිංග රෝග සඳාහා බලි වර්ග නියම කරනු ලැබේ.
රති ලෙඩට - කාම රාක්ෂය
රතිකම් විදියට - යමදේව සමයම
මවුන්ට කිරි නැති වීමට - කුමාර බලිය
කුෂ්ට රෝග වලට - අෂ්ඨ රූප මංගල්‍යය

මේ ඔස්සේ බලියෙන් සමාජ සංවර්ධනය සිදු වන  බව තහවුරු වන්නා වූ දෙයකි.මනෝචිකිත්සාවක් වශයෙන් මිනිසාගේ ඇතුල් මනසට බලපෑම් කරයි.මෙසේ බලි යාගය සිදු කර ආතුරයන් සුවපත් කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් කිහිපයක් 2003 වසරේදී ඊ.එම්.ජී.සිරිපාල මහතා විසින් දක්වා තිබේ.
1965 දී වෛද්‍යවරුන්ගේ මතයට අනුව මිය යාමට ආසන්න යැයි පැවසූ කාන්තාවක් යාගය කිරීමෙන් පසු වසර හතරක් ජිවත් විය.
1940 අංශභාගය රෝගයෙන් සිටි කුණ්ඩසාලේ විහාරවාසී හිමි නමක් සුවපත් වීම.
1993 වසර 14 ක් සුව කිරීමට නොහැකි වූ කකුලේ තුවාලයකින් සිටි ගම්මුල්ල මුදියන්සේ ඉස්කෝලෙ මහතා සුව වීම
1993 පහළගම භික්ෂූන් වහන්සේගේ මවකට තිබූ දියවැඩියා රෝගය සුවපත් කිරීම 

 

බලි යාගය සඳහා බොහෝ පිරිසක් සම්බන්ධ වන්නේ ඇයි?මේ ප්‍රශ්නය දැන් ඔබ ඔබෙන්ම අසන්නට ඇති.නූතන තාක්ෂණික විද්‍යාත්මක ලෝකයක් තුළ දියුණු ප්‍රතිකාර ක්‍රම තිබියදී,දියුණු ජනමාධ්‍ය ගණනාවක් තිබියදී මිනිසා තවමත් ශාන්තිකර්ම,අභිචාර ආදී ගැමි ජනමාධ්‍ය ක්‍රම භාවිතා කරන්ාන් ඇයි?විටෙක ඔබ මෙසේ සිතන්නට පුළුවන්.ඒ ඔවුන්ගේ නූගත්කම හෝ නොදැනුවත්කම නිසා බව.නමුත් එම මතයේම එල්බී නොසිට යාග භාවිතයෙහි අන්තර්ගතය සන්නිවේදනාත්මකව විමසීමක් කල යුතුය.මේ යාග තුළ පවතින සන්නිවේදන ගුණ මොනවාද? ඒවා කෙතරම් දුරකට මිනිස් ජීවිිතයට බලපාන්නේද? එසේ බලපාන්නේ කවර ආකාරයටද? යන්න විමසිය යුතුය.මේ බව විද්‍යුත් ජනමාධ්‍ය හා සම්ප්‍රදායික ජනමාධ්‍ය අකර පවතින ඓතිහාසික සම්බන්ධතාවය ඔස්සේ විමසිය හැකිය.ඒ පිළිබඳව අධ්‍යනය කිරීමේදී මා හට හමු වූ තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සකස් කිරීමට මා යොමු  විය.මෙම ශාන්තිකර්මයන් අනාගතය දත්වාම රැක ගැනීම සැමගේම යුතුකමකි.  



  

Saturday, 13 July 2019

කඳුලක උණුහුම

දුකක් නොදැනෙන 
ඔය හිතට 
කොහොම නම් 
දැනෙන්නද
මගේ කඳුලක
උණුහුම

Wednesday, 10 July 2019

සංවර්ධනයට වන විනාශය අවශ්‍යම ද?

    වර්තමානය වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පරිසර දූෂණය පිළිබදව, වනාන්තර කැපිම හා වනාන්තර විනාශයන් පිළිබදව තරුණ ප්‍රජාව විරුද්ධ වීම්,එරෙහි වීම් දැකගත හැකිය. එය එලෙසින්ම තිබිය යුතුය. නමුත් එහිදි බහුලව විෂය මාතෘකාව වුයේ විල්පත්තු සංහාරය යන තේමාවයි. නමුත් මා මේ සදහන් කරන්නේ එයට විරුද්ධවත් හෝ පක්ෂවත් තර්ක නොව අද වන විට ශ්‍රී ලංකාවේ පරිසර විනාශය පුළුල් වශයෙන් කියවීමක් ලබා දීමට  උත්සාහ කිරීමකි.
   

     වන සංහාරය යන්න පිලිබදව දැක්විමේදී ශ්‍රී ලංකාව තුළ වන සංහාරයන් දිගින් දිගටම සිදුවෙමින් පවතී.2010 පාරිසරික දත්ත විශ්ලේෂණයට අනුව වසරකට සමාන්‍යයෙන් හෙක්ටෙයාර් 8,000ක් විනාශයට ලක්වෙමින් පවති.
         
   මෙලෙස වන විනාශයන් වැඩිපුරම සිදුවන ප්‍රදේශයන් ලෙස ( 2014-2016 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කරන ලද අධ්‍යයනය ) ඔවුන් දක්වන්නේ 

  • අනුරාධපුරය 
  • මොනරාගල
  • හම්බන්තොට   
  • අම්පාර 
  • පුත්තලම 

           යන දිස්ත්‍රික්කයන්‍ ය.

      මෙම වන විනාශයන් සිදුවීමට හේතු ලෙස මොවුන් දක්වන්නේ ජාතික මට්ටමෙන් කරන ලද සංවර්ධන ක්‍රියාවලීන් (රාජ්‍ය හා පෞද්ගලික ) යටිතල පහසුකම් සංවර්ධන දියුණු කිරීම්, ව්‍යාපෘතීන් ( මහා මර්ග / වරාය ) බලශක්ති පහසුකම් ඇති කිරිම්, සංවර්ධන ක්‍රියාවන් සදහා වන බිම් හෙලිකිරීම්, ආදිය‍යි. 

    ජනතාව වන විනාශයන් පිළිබදව තර්කානුකූලව සිතමින් කියවීමක් කල යුතුය. පරිසර විනාශයට විරුද්ධ වීම් නිරන්තරයෙන් සිදු කරනවා සේම තමාද පෞද්ගලිකව පරිසරය ආරක්ෂා කිරීමක් කල යුතුය. එසේම සමාජයෙන් සැගවි සිදුවන වන විනාශයන් පිලිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් එම විනාශයන් වැළැක්වීමට ක්‍රියාකල යුතුය.

     රටකට සංවර්ධන ව්‍යාපෘතීන් ඉතාමත්ම වැදගත්‍ ය. නමුත් සිදුවිය යුත්තේ පවතින තත්වය විනාශ කරමින් නොව පවතින තත්වයන් රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ගොඩනැංවීම ය. වනාන්තර විනාශ කරමින් රටක ඇති කිරීමට බලාපොරොත්තුවන එම දිගුකාලීන සංවර්ධන නම් වූ ක්‍රියාවලිය සිදුකිරීමේ ප්‍රතිඵලය කුමක්ද?...මේ ඒ පිළිබදව විමසිල්ලෙන් සිතා කටයුතු කල යුතු කාලයයි.

Saturday, 20 April 2019

මග බලන අම්මාවරුන්

අම්මා යනු මිහිපිට ඇති වටිනාම වස්තුවකි. මවකට සමාන කල හැකි කිසිවෙකු මේ මිහිතලය මත තවමත් ඉපදී නොමැත. විශ්වය රදා පවතින්නේ හිරුගේ රැස් වලින් හා මවගේ කිරි වලින් යනුවෙන් ප්‍රකට කියමනක් තිබෙන්නේ මේ නිසාවෙනි. දස මාසයක් දරුවෙකු කුස තුළ තබාගෙන හිද මෙලොවට බිහි කර තම ලේ කිරි බවට හරවා පොවන්නේ අම්මා නම් වූ ඒ උතුම් කාන්තාවයි. ඇය අනේකවිධ දුක් විද ගනුයේ තම දරුවන් කෙරෙහි ඇති ආදරය නිසාවෙනි. දරුවෙකු තම කුස පිළිසිඳගත් බව දැනගත් මොහොතේ සිට දරුවා මෙලොවට බිහි කරනා දිනය දක්වාම අම්මා කෙනෙකු අපරිමිත කැප කිරීමක් සිදු කරයි. ඇය ආහාර ගන්නේ දරුවා ගැන සිතාය. ඇවිදින්නේ තම දරුවාට රිදුමක් ඇති නොවන අන්දමිනි. දරුවා දිනෙන් දින වැඩෙන අයුරු දැක සතුටු වනවා සේම වගකීම සියල්ලද ඇය තම කර මතට ගැනීමට අමතක නොකරයි.

   අම්මාවරුන් සිය ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කළද ඒ සියල්ලක්ම දරුවන් අමතක කර දමයි. ඒ ඔවුන් උස් මහත් වී සමාජයේ තනියෙම ජීවත් වීමට හැකි වූ විටදීය. දරුවන් සමාජයේ ඉහළ තලයකට ගිය පසු ඔවුන්ට තම මව නොරුස්සන තැනැත්තියක් බවට පත් වන්නේ සිතාගත නොහැකි අන්දමිනි. සමාජයේ සිටින සියලුම දරුවන් මේ ආකාරයෙන් නොවුණද බහුතරයක් මෙම තත්වයට වර්තමානය වන විට පත් වී තිබේ. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ සමාජය තුළ වැඩි වශයෙන් මහළු නිවාස ඉදිවීමයි. තම දරුවන්ගේ සැලකුම ලැබීමට සිටින වයසේදී ඔවුන්ට මහළු නිවසකට වී සිටීමට සිදුවීම ඉතාම අවාසනාවන්ත සිදුවීමකි.

     තම දරුවන් තමාට කෙසේ සැලකුවද මවක් ඔවුන් කෙරෙහි අහිතක් වෛරයක් ඇති කර නොගනී. එය මව්වරුන්ගේ ස්වභාවයයි. අවුරුදු ගණනාවකින් තම දරුවන් දැක නැති මව්වරුන් දහස් ගණනක් මේ සමාජය තුළ සිටී. ඔවුන් කදුළු පිරි දෙනෙතින් යුතුව මග බලා සිටින්නේ දරුවන්ව එක වරක් හෝ දැක ගැනීමටය. ඔවුන්ගේ සෑම කදුළු බිදුවක් තුළම පවතින්නේ දරුවන් කෙරෙහි ඇති දාරක ප්‍රේමයයි. මහළු නිවාස වල මෙන්ම , මහමඟ , නිවෙස් තුළ  හිදිමින් උදාවන සෑම මොහොතකම තම දරුවන් තමාව දැක ගැනීමට පැමිණෙතැයි යන බලාපොරොත්තුවෙන් මග බලමින් සිටී. ඇතැම් විට තම මරණය දක්වාම මෙලෙස මගබලා සිටීමට සිදු වුවද ඒ බලාපොරොත්තුව ඉෂ්ට නොවී මිය යාමයද සිදු වේ. මවක් සිය ජීවිතය පුරාවටම දරුවන් වෙනුවෙන් මග බලා සිටී. දරුවා මෙලොවට බිහි වන තෙක්, දරුවා ළදරු අවධිය පසු කරන තෙක්, ළමා අවධිය පසු කරන තෙක්ද දරුවා හොදින් ඉගෙනුම ලබා ඉහළ රැකියාවක් දරන දිනය එළෙබෙන තෙක්, ඔවුන් විවාහ වී ජීවිතය ගෙවන දිනය තෙක් සෑම මොහොතකම ඇය දරුවන් වෙනුවෙන් මග බලා සිටියි. එයින් නතර නොවී සිය මහළු අවධියේ දරුවන් තමා දකින්නට එන තෙක් මගබලා සිටියි.

      දරුවන් වෙනුවෙන්ම ජීවිතය කැප කරනා අම්මාට මෙලෙස සිය ජීවිතයේ අවසාන සමයේදීද දරුවන් වෙනුවෙන් බලා සිටීමට සිදුවීම කණගාටුවට කරුණකි. 

දරුවන් එනතුරු මව්වරුන් මගබලා හිදී
ඔවුන්ගේ ආදරය විදගැනීමට මව්වරුන් බලා හිදී
මව්වරුන් සැමදාම දරුවන් වෙනුවෙන් බලා හිදී 

Thursday, 11 April 2019

ඔබ ඔබම වන්න..

සමාජයේ අන් අය කුමක් කරත් කුමක් කීවත් ඔබ ඉන් කම්පාවට පත් නොවී ජීවත් වීමට හුරු වන්න. ඔබට කිසිම දිනෙක ඔබ අසළ සිටින පුද්ගලයා වීමට හැකියාවක් නෑ. ඔවුන්ගේ වත්කමට සාපේක්ෂව ඔබගේ වත්කම පහළ තත්වයේ තිබෙන්නට පුළුවන්. එම නිසා ඔබ කටයුතු කළ යුත්තේ ඔබේ හැකියාව මතයි. ඔබට අනෙක් අයට මෙන් විශාල නිවසක් වාහනයක් නොමැතිව ඇති. නමුත් ඔබ ළග සතුට සැනසීම තිබෙන්නට පුළුවන්. ඔබ අනෙක් පුදලයන් මෙන් සැප සම්පත් ලබා ගැනීමට දිවා රෑ නොබලා මහන්සි වී කටයුතු කරනවා විය හැකියි. එමෙන්ම ඔබට ඔබ ගැනවත් සිතීමට කාලයක් නොමැතිව මුදල් උපයනවා විය හැකියි. නමුත් මතක තබා ගන්න එසේ ලබා ගන්නා සම්පත් වලින් ඵලක් නොමැති බව. සම්පත් සියල්ල ලබා ගන්නා විට ඔබ රෝගී වී සිටින්නද පුළුවන්. එම නිසා ඔබ ඔබට හැකි පමණ කටයුතු කරන්න.

ඔබට ජීවිතයේ කවමදාකම හෝ පුද්ගලයෙකු හිත රිදෙන අයුරින් කටයුතු කර තිබෙන්නට හැකියි. එමෙන්ම ඔබට අයහපත් ආකාරයෙන් සලකන්නට ඇති. නමුත් ඉන් කම්පා නොවන්න. ඒ ඔවුන්ගේ ස්වභාවය යැයි සිතන්න. ඔබට කෙසේ සැලකුවත් ඔබ ඔවුන්ට හොදින් සලකන්න. ඔබත් ඔවුන් සේ කටයුතු කිරීමට උත්සාහ නොකරන්න. මදකට සිතන්න බල්ලෙකු ඔබගේ පාදය සපා කෑ විට ඔබ පෙරලා බල්ලාගේ පාදය සපා කෑමට නොයන වග.

එමෙන්ම ඔබ අනෙක් අයට උවමනා පරිදි ජීවත් වීමට පුරුදු නොවන්න. ඔබගේ ජීවිතය අයිති ඔබට පමණයි. ඒ පිළිබඳව තීන්දු තීරණ ගත හැක්කේද ඔබටම පමණකි. ඔය දේ කරන්න එපා, මේ දේ කරන්න, ඔය වැඩේ වැරදියි මේ වගේ දේවල් ඔබත් ජීවිතයේ එක් දවසක් හෝ අසා තිබෙනවාට කිසිදු සැකයක් නෑ. ඔබ ඔවුන්ගේ බසට කීකරු වී කටයුතු කර තිබෙන්නටද පුළුවන්. නමුත් ඔබ ඔබම වන්නට උත්සාහ කරන්න. කිසිවෙකුගේ රූකඩයක් බවට ඔබ පත් නොවන්න.

ඔබ ඔබම වන්න. ඔබටම ආවේණිකත්වයක් ගොඩනගා ගන්න. එවිට ජීවිතය ලස්සන කර ගන්නට ඔබට හැකි වෙයි.

ඔබ මනුෂ්‍යයෙකි. ඒ නිසා අනුන් කරන දේ කරන වදුරෙකු නොවන්න 

❤️❤️❤️


පතිවත..🌼🙅🌼