අම්මා යනු මිහිපිට ඇති වටිනාම වස්තුවකි. මවකට සමාන කල හැකි කිසිවෙකු මේ මිහිතලය මත තවමත් ඉපදී නොමැත. විශ්වය රදා පවතින්නේ හිරුගේ රැස් වලින් හා මවගේ කිරි වලින් යනුවෙන් ප්‍රකට කියමනක් තිබෙන්නේ මේ නිසාවෙනි. දස මාසයක් දරුවෙකු කුස තුළ තබාගෙන හිද මෙලොවට බිහි කර තම ලේ කිරි බවට හරවා පොවන්නේ අම්මා නම් වූ ඒ උතුම් කාන්තාවයි. ඇය අනේකවිධ දුක් විද ගනුයේ තම දරුවන් කෙරෙහි ඇති ආදරය නිසාවෙනි. දරුවෙකු තම කුස පිළිසිඳගත් බව දැනගත් මොහොතේ සිට දරුවා මෙලොවට බිහි කරනා දිනය දක්වාම අම්මා කෙනෙකු අපරිමිත කැප කිරීමක් සිදු කරයි. ඇය ආහාර ගන්නේ දරුවා ගැන සිතාය. ඇවිදින්නේ තම දරුවාට රිදුමක් ඇති නොවන අන්දමිනි. දරුවා දිනෙන් දින වැඩෙන අයුරු දැක සතුටු වනවා සේම වගකීම සියල්ලද ඇය තම කර මතට ගැනීමට අමතක නොකරයි.
අම්මාවරුන් සිය ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කළද ඒ සියල්ලක්ම දරුවන් අමතක කර දමයි. ඒ ඔවුන් උස් මහත් වී සමාජයේ තනියෙම ජීවත් වීමට හැකි වූ විටදීය. දරුවන් සමාජයේ ඉහළ තලයකට ගිය පසු ඔවුන්ට තම මව නොරුස්සන තැනැත්තියක් බවට පත් වන්නේ සිතාගත නොහැකි අන්දමිනි. සමාජයේ සිටින සියලුම දරුවන් මේ ආකාරයෙන් නොවුණද බහුතරයක් මෙම තත්වයට වර්තමානය වන විට පත් වී තිබේ. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ සමාජය තුළ වැඩි වශයෙන් මහළු නිවාස ඉදිවීමයි. තම දරුවන්ගේ සැලකුම ලැබීමට සිටින වයසේදී ඔවුන්ට මහළු නිවසකට වී සිටීමට සිදුවීම ඉතාම අවාසනාවන්ත සිදුවීමකි.
තම දරුවන් තමාට කෙසේ සැලකුවද මවක් ඔවුන් කෙරෙහි අහිතක් වෛරයක් ඇති කර නොගනී. එය මව්වරුන්ගේ ස්වභාවයයි. අවුරුදු ගණනාවකින් තම දරුවන් දැක නැති මව්වරුන් දහස් ගණනක් මේ සමාජය තුළ සිටී. ඔවුන් කදුළු පිරි දෙනෙතින් යුතුව මග බලා සිටින්නේ දරුවන්ව එක වරක් හෝ දැක ගැනීමටය. ඔවුන්ගේ සෑම කදුළු බිදුවක් තුළම පවතින්නේ දරුවන් කෙරෙහි ඇති දාරක ප්‍රේමයයි. මහළු නිවාස වල මෙන්ම , මහමඟ , නිවෙස් තුළ හිදිමින් උදාවන සෑම මොහොතකම තම දරුවන් තමාව දැක ගැනීමට පැමිණෙතැයි යන බලාපොරොත්තුවෙන් මග බලමින් සිටී. ඇතැම් විට තම මරණය දක්වාම මෙලෙස මගබලා සිටීමට සිදු වුවද ඒ බලාපොරොත්තුව ඉෂ්ට නොවී මිය යාමයද සිදු වේ. මවක් සිය ජීවිතය පුරාවටම දරුවන් වෙනුවෙන් මග බලා සිටී. දරුවා මෙලොවට බිහි වන තෙක්, දරුවා ළදරු අවධිය පසු කරන තෙක්, ළමා අවධිය පසු කරන තෙක්ද දරුවා හොදින් ඉගෙනුම ලබා ඉහළ රැකියාවක් දරන දිනය එළෙබෙන තෙක්, ඔවුන් විවාහ වී ජීවිතය ගෙවන දිනය තෙක් සෑම මොහොතකම ඇය දරුවන් වෙනුවෙන් මග බලා සිටියි. එයින් නතර නොවී සිය මහළු අවධියේ දරුවන් තමා දකින්නට එන තෙක් මගබලා සිටියි.
දරුවන් වෙනුවෙන්ම ජීවිතය කැප කරනා අම්මාට මෙලෙස සිය ජීවිතයේ අවසාන සමයේදීද දරුවන් වෙනුවෙන් බලා සිටීමට සිදුවීම කණගාටුවට කරුණකි.
දරුවන් එනතුරු මව්වරුන් මගබලා හිදී
ඔවුන්ගේ ආදරය විදගැනීමට මව්වරුන් බලා හිදී
මව්වරුන් සැමදාම දරුවන් වෙනුවෙන් බලා හිදී
