(සුනිල් දයානන්ද කෝනාර ශූරීන්ගේ ගමට කලින් හිරු ගීතය ඇසුරින්)
සුනිල් දයානන්ද කෝණාර
කෝණාර හාමිලාගේ පුංචි බණ්ඩාර පියාණන්ටත්, රණවීර ආරච්විලාගේ රන්මැණිකේ මෑණියන්ටත් දාව 1952 ජූලි 1 වන දා දඹදෙණිය මුතුගල ගමේ උපත ලැබීය.සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ ඔහු පස්වැනියා විය.ඔහුගේ ජීවිතයේ රිද්මය කියා දෙන ලද්දේ අඩහැර,සී පද හා යාය අස්වැද්දීම,අස්වනු නෙලන දසුන්ය. මුතුගල කනිෂ්ඨ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන ලදී.මොහු ඉතා නිහඩ චරිතයකින් යුක්ත අයෙකු වූ අතර තම දක්ශතාවය නිසා කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.
පාසල් වැඩ කටයුතු වලට මෙන්ම ගමේ වැඩිහිටි පිරිස සමග එක් වී සෞන්දර්ය ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීමට මොහු මහත් සේ රුචිකත්වයක් දක්වන ලදී.රාත්‍රිය පහන් වන තුරු කමත් වල වැඩිහිටියන් පාන අඩහැර ඇසීමටත්,ටීටර් නාට්‍ය වල සර්පිනා වාදනය ඇසීමටත් මහත් කැමැත්තක් දැක්වීය.මොහු සංගීතයේ මුල් අකුරු ඉගනගනු ලැබුවේ පෙරේරා ගුරුතුමියගෙන් හා මුණසිංහ ගුරුතුමියගෙන් ය.දඹදෙණිය කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වී ජයන්තා අරන්දල ගුරුතුමියගෙන් සංගීතය වැඩිදුර හදාරා සම්මාන සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ සමත් විය. නාරම්මල මයුරපාද විද්‍යාලයට උසස් පෙළ හැදෑරීම සදහා ඇතුළත් විය.එහිදී බෞද්ධ ශිෂ්ඨාචාරය,සිංහල,ආර්ථික විද්‍යාව හා භූගෝල විද්‍යාව හදාරා උසස් පෙළ සමත් වන ලදී.මේ කාලය වන විට රජයේ සංගීත විද්‍යාලයට නවක සිසුන් බඳවා ගන්නා බව සැල වී ඒ සඳහා ඉල්ලුම් කරන අතර එහි සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වී 1970 දී කොළඹ රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වන ලදී.එහි අධ්‍යාපනය ලබමින් සිටියදී තුන්වන වසරේදී ඩබ්.බී මකුලොලුව මහතාගේ පර්යේෂණ වලට සම්බන්ධ වී නිර්මාණයන් කරන්නට විය.ගුවන් විදුලි ජන සංගීත පර්යේෂණ ඒකකයේ වැඩසටහන් වලට සම්බන්ධ විය.පහනින් පහන,කාලගෝල,නරිබෑණා නාට්‍ය වල අත්වැල් ගායනයට එක් විය.
මේ කාලයේදී “අවාරේ මී මොර මල් ”ගීතය රචනා කරන්නට විය.අවුරුදු දෙකක් ඉතා දුෂ්කරතා මැද කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ සංගීතය උගන්වන ලදී.ඉන් අනතුරුව ආරාධනාවක් මත දඹදෙණිය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස සේවයට ගියේය.ශාස්ත්‍රීය අධ්‍යාපනය සදහා ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් විය.ගුවන් විදුලි බී ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ඔහු පත් වන ලදී.ඉසිපතනේ මිගදායේ මොහු ගැයූ මුල්ම සරල ගීය වේ. ඉන් අනතුරුව මොහුට පද රචනය සදහා අවස්ථාව හිමි විය.පිදු අසෙනිය කුසුම,කුප්පි ලාම්පුව,ඈත දුරක ගීත සඳහා සංගීතය නිර්මාණය කරන ලදී.1982 දී ගිරාගම ගුරු විද්‍යාලයේ අධ්‍යන කටයුතු අවසන් කරන ලදී.1983 දී පියාගේ අභාවය සිදු විය.මොහු ලියා සංගීතවත් කරන ලද ගීතයක් ලේක්හවුස් ආයතනය සංවිධානය කළ භක්ති ගීත තරගයකින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.නන්දා මාලනීගේ ඇරයුමක් මත “වහින්නට හැකිනම් ගිගුම් දී ”ගීතය රචනා කරන ලදී.2012 දී මොහු තම ගුරු දිවියට සමු දෙන්නට විය.මොහුගේ සංගීත මෙහෙය ලෙස
සංගීත නිර්මාණය-පාවඩ ටෙලිනාට්‍ය, අන්දරේ ටෙලිනාට්‍ය, රයිගම්පළ වේදිකා නාට්‍ය, මවුස් ච්ත්‍රපටය
පද රචනය-මහ වැස්සක් බිමට හෙලා, සමනල පාලම උඩ, රත්නපුරෙන් ගෙන ආ සමන්මල්, දිය බෙරලිය දලු නෙළන්න ගිය දා, පාන්දරින් ඉස්කෝලෙට, ගමට කලින් හිරු
යන නිර්මාණයන් පෙන්වා දිය හැකිය.මේ අතරින් විශිෂ්ට නිර්මාණයක් වන්නේ ගමට කලින් හිරු ගීතයයි.මෙහි පද රචනය හා සංගීත නිර්මාණය සිදු කරන ලද්දේ මොහු විසින්මය.2016 දෙසැම්බර් 07 මොහු සිය දිවි ගමනින් සමු ගන්නට විය
ගමට කලින් හිරු ගීතයේ පොදු නිර්මාණාත්මක ලක්ෂණ
සුනිල් දයානන්ද කෝණාර විසින් රචනා කරන ලද ගමට කලින් හිරු ගීතය සදහා ඔහු පාදක කර ගෙන තිබෙන්නේ උදාරතර මව් සෙනෙහස පිළිබදවයි. මවක් යනු දරුවෙකුට මේ ලොව අවංකවම ආදරය කරන්නා වූ තැනැත්තියයි. ඇයගේ ආදරයට සමාන කල හැකි ආදරයක් මේ මිහිපිට තවත් නොමැත. ඒ උත්තරීතර මව් සෙනෙහස පිළිබදව අපූර්ව ලෙසට මෙම ගීතය තුළින් ඉස්මතු කර දැක්වීමට රචකයා සමත් වී තිබේ.
ඔහු තම නිර්මාණය සදහා මව් සෙනෙහස මෙන්ම ගැමි පරිසරය හා ආගමික පසුබිමද දායක කර ගෙන තිබේ. තම කුඩා කල සිටම හැදී වැඩුණු ගැමි පරිසරය එම ගැමි කම සිය නිර්මාණ ඔස්සේද විදහා පෑමට ඔහු අමතක කර නැත. එම නිසාවෙන් ගැමි පරිසරයට උචිත වන අන්දමේ භාෂා රටාවක් ඔහු සිය නිර්මාණය තුළට ආරෝපණය කර ගෙන තිබේ. මෙම නිර්මාණය දෙස අවධානය යොමු කිරීමේදී
1 වස්තු විෂය
2 භාෂා රටාව
3 සංකල්ප රූප මැවීම
යනාදී ලක්ෂණ දැක ගැනීමට හැකිය. ඔහු මෙම නිර්මාණයේ වස්තු විෂය සදහා යොදා ගනු ලැබුවේ සිය මවගෙන් ලද ආදරය හා උණුසුමයි. සිය මව තමා ඇතුළු සහෝදර සහෝදරියන්ට ආදරය කළ ආකාරය මෙන්ම ඔවුන් කෙරෙහි දක්වන ලද සෙනෙහස මේ ඔස්සේ ඉස්මතු කර දක්වා තිබේ. ඒ ඔස්සේ ලොව සියලුම මව්වරුන් තම දරුවන් කෙරෙහි දක්වන්නා වූ ආදරය ගෙන හැර පෑමට රචකයා මෙහිදී සමත් වී ඇති බව දැක ගැනීමට හැකිය. උදෑසන අවදි වූ මොහොතේ පටන්ම තම දරුවන්ගේ යහපත වෙනුවෙන් මව්වරුන් කරන්නා වූ කැප කිරීම කොපමණද යන්න මේ ඔස්සේ හෙළි කර දක්වයි.
මව් සෙනෙහස උද්ධීපනය වන අන්දමටම මෙහි භාෂා රටාවද හසුරවා තිබීම මෙම ගීතය හදවත් තුළට කා වැදීමට හේතු සාධකයක් වී තිබේ. මවි සෙනෙහසේ මහිමය කියා පෑමට රචකයා මෙහිදී ගැමි ජීවිතය හා සබැඳි මිනිසාට වඩාත් සමීප සිද්ධි මෙන්ම භාෂාවද යොදා ගෙන තිබේ. කලාවැවේ නිල් දියවර, මහමායාවනි,වෙල්දෙණි,විශාඛාව, ඇත් රැජිණියනේ යන ලෙසට අලංකාර මෙන්ම හිතට කා වදින ආකාරයේ වචන භාවිතා කර තිබේ. මේ ඔස්සේ බුද්ධ කාලයේ උත්තරීතර කාන්තා චරිත හා සමානවම මවගේ චරිතය ඉස්මතු කර දක්වයි. ඒ ඔස්සේ මව යන චරිතය උත්තරීතර කර පෙන්වීමටත් බුදුන් වහන්සේගෙන් පවා ගෞරවයට පාත්‍ර වීමට තරම් මව සමත්කම් දැක්වූ බවත් ජනතා හදවත් තුළට ඉස්මතු කර පෙන්වා තිබේ. එසේම මව යනු සියලුම දුක් කම්කටොලු සිතින් දරා ගෙන නොසැලී සිටින චරිතයක් බව ඉස්මතු කරලීමට රචකයා මහත් වෙහෙසක් දරා තිබේ.
එසේම බෞද්ධාගම හා සම්බන්ධ කර දක්වා මව සියලු දෙනාගෙන්ම වන්දනයට ලක්විය යුතු උත්තරීතර කාන්තා චරිතයක් බව ඔප්පු කරන්නට කටයුතු කර ඇත. බණ පද,බෝ මලුව,පහන් සිල,මෙත් මග යන වචන මෙයට පාදක කර ගෙන ඇත. එසේම සංකල්ප රූප මතු කර දක්වා මවගේ ආදරය කොතරම්ද යන්න ජනතාවගේ හදවතට තීව්‍ර කර ඇත. ඕනෑම නිර්මාණකරුවෙකු සතුව
1 වාසනා ගුණය
2 ව්‍යුත්පත්තිය
3 සතතඅභ්‍යාසය
4 ප්‍රතිභාව
5 පරිකල්පනය
6 බහුශ්‍රැතභාවය
යනාදී වූ ලක්ෂණය පැවතිය යුතු අතර සුනිල් දයානන්ද කෝණාරගේ මෙම ගීතය තුළ මෙකී සියලුම ලක්ෂණ අන්තර්ගත වී ඇති බවක් දැක ගැනීමට හැකිය
ගමට කලින් හිරු ගීතයේ විචාරය
සුනිල් දයානන්ද කෝනාර මහතාගේ පද රචනාවකින් කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඩ මුසුවකින් නිර්මාණය වු ගීතයකි
අම්මා යනු මිහ්පිට ඇති වටිනාම වස්තවකි.දරුවෙකු තමාගේ බහ තෝරන වියේදීම කිරි සුවඳ හා මුසුව කියන්නා වූ වචනය අම්මායි.දරුවෙකු වැදූ පමණින් මවක නොවන බවත් මවක වීමේ සුදුසුකම දරුවෙකු වෙනුවෙන් අපිරිමිතව කැපවීම බව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නැමති ජර්මානු නාට්‍යකරුවා හුණුවටයේ කතාව ඔස්සේ සිහිපත් කර තිබේ.
“මවිගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
ගොවි දන මනා වූ
ලැබිය යුතු වූ සේම ගම් බිම්”
අම්මාගෙන් අප ආදරය කරුණාව යන සියල්ල ලබා ගනී. මෙකී උත්තරීතර මව වෙනුවෙන් ගයන ලද ගීතයකි
ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩනා
ඒ හිරු එළියෙන් නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා
අප කාටත් කලින් අවදිවන්නී මවයි. ඈ අවදී වූ විගස දුවයන්නේ මුලුතැන්ගෙටයි. ගම්මානයට කලින් හිරු මුලුතැන්ගෙට වඩින්නේ ඒ නිසාවෙනි. ගම එලිය කරන්නට කලින් ඇය තම නිවස ආලෝකමත් කරයි.අවදී වී අහාර පිසියි. සියල්ලම සිදු වන්නේ ඇගේ අතිනි.ගමට කලින් හිරු මුලුතැන්ගෙට වැඩීමෙන් සංකේත්වත් වන්නේ ඇගේ ආලෝකයයි. ගෙදරක මෙන්ම ලෝකයේ ආලෝකය වන්නේද මවයි.වැව යනු ගමක වටිනාම සම්පතයි. තම දිවිය සරු කරනු ලබන්නේ ගමේ වැව මගිනි.එමගින් වැවට ඔවුහු දේවත්වයක් පවා අරෝපණය කරයි.මවද කලා වැවේ නිල්වන් දියට සමාන කරනුයේ මව යනු අප සතු උතුම්ම වස්තුවක් වනවා සේම ඇයට දෙවත්වයක් ආරෝපණය කිරීම නිසාවෙන්ය. සරුසාර කෙත් අස්වද්දන නිල් දියවර වන්නේ උතුම් වූ අම්මාය.ලාංකීය ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය එකට මුසු කරන්නට කෝණාරයන් මෙහිදී උත්සාහ දරා ඇත.
රෑ කලුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබ්ද හැඩුවත්
සිත් නෑ නිදි විද ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකිනේ
මහමායවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
දරුවන් උස් මහත් වී වැඩිවියට පත් වුවද මවගේ සෙනෙහසේ අඩුවක් සිදු නොවේ.තම දරුවන් ගෙදරට එන තුරු ඇගිලි ගනිමින් බලා සිටින්නේ මවයි.කොතරම් රෑ බෝ වුවද තම දරුවන් එනතුරු නිදිවරමින් බලසිටින්නී මවයි. ඇය නෙතට පමණක් නොව සිතටටද විවේකයක් නොදෙයි. මවක් මුලු දවස පුරාම නොව ඇය ජීවත්වන කාලය පුරාවටම සිතනුයේ තම දරුවන් පිලිබදවයි. තම දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීමට කල යුතු දේ ගැන ඇය නින්දේදිත් සිතයි.තම දරුවන් විවාහ වී දරුවන් ලැබූ පසුවද මව තම දරුවන් ගැන සිතීම අත් නොහරියි. එම සෙනෙහස ලැබැදියාව බිදක්වත් අත නොහරියි. දරුවන්ගේ සෙවනැල්ල සේ ජීවීත කාලය පුරාම සිටින්නේ අම්මාය.මවගේ මේ උදාර ගතිගුණ මහාමායවන්ට සමාන කර දක්වන්නේ මේ නිසාවෙනි. මහාමායාව හැර ඇයව සමාන කරන්නට මේ ලොව තුළ අන් කාන්තාවක් නොමැති බව රචකයා ඉස්මතු කර දක්වයි. බුදුන් වහන්සේගෙන් පවා වැදුම් පිදුන් ලැබීමට මහමායාව වාසනාවන්ත විය. එම වාසනා ගුණයම මෙළොව සිටින මව්වරුන්ටද පවතින බව මෙහිදී ව්‍යංගාර්ථයෙන් ඉස්මතු කර තිබේ.
වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සස්‍රේ විිහාඛාව වී
මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිනියනේ ඔබේ නැලවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා
වෙල් එලිවල ඇව්විදින විට ඇගේ දෙපා රිදෙන්නට පුලුවන. ඇයට ආගම දහමට මුල් තැනක් ලබා දී කටයුතු කිටීමට තරම් සිතට නිදහසක් නොමැත. එම නිසා වෙල්දෙණිවල ඇවිද තම දරුවන්ගේ කුස පිරවීමට වෙහෙස දරන මවට පක්ෂීන්ගේ සුමුහිරි ගීතයන් බණ පද වෙවා යැයි යනුවෙන් කවියා පාර්ථනා කරයි. තවත් විටෙක කවියා මවව ඇත් රැජිනියකට සමාන කරයි. මන්ද අප දිවියේ සිටින දැවැන්තම ශක්තිය මවන් නිසාය. මව යනු සියලුම දුක් ගැහැට විද දරා ගනිමින් ලෝකයාට තම කඳුළු සගවා සිටින්නට සමත්කමක් ශක්තියක්ද ඇති උත්තරීතර කාන්තාවකි. එමෙන්ම ඇය විසින් ගයනා නැළවිලි ගීතය ලොවම නිවනා කවියක් වෙවා යැයි කවියා පතයි. මන්ද මව යනු රටකට ජාතියකට සීමා වූවක් නොව එය මුලු ලොවටම අයිති උත්තරීතරම වස්තුවකි. මවගේ වදන් පවා දරුවකුට සිතට සහනයකි. මවකගේ කටින් කිසිම දිනයකදී දරුවෙකුට අවැඩක් වන අන්දමේ වදනකුදු පිට නොවේ.පහන් වැටක තිබෙන්නා වූ සංයමය ඇයට ලැබේවායි ප්‍රාර්ථනා කරයි. සුළං පහරවල් කොතෙකුත් ආවද පහන් වැටක් නොනිමී සියල්ලන්ටම ආලෝකය සපයන්නා සේ ඇයටද සිටින්නට ශක්තිය ලැබීමට ප්‍රාර්ථනා කරයි.බුදුන් දැක නිවන් දකින්නටත් අන් අයට නිවනට මග කියන්නටත් ඇයට හැකි වන්නයැයි ප්‍රාර්ථනා කරයි. මේ සියලු කැප වීම් සිදු කරන්නා වූ මවට උත්තරීතර නිවනට මග විවර වන්නට ලොව සෑම දරුවෙකුම ප්‍රාර්ථනා කරන බව රචකයා හෙළි කරයි.මව්ගුණය පිළිබඳව සියලුම හදවත් තුළට කා වැද්දීමට සමත් වූ අපූර්ව නිර්මාණයක් ලෙස මෙය හදුන්වාදීමට හැකිය.
මවකට ආදරය කිරීමට සියලුම ජනතාව යොමු කිරීම මේ ඔස්සේ සිදු කර තිබේ. ගේය පද රචනය හා සංගීතය මෙන්ම ගායනය යන සියලල්කම එක්ව මනාසේ පරිපූර්ණ ගීතයක් ලෙසින් මෙම ගීතය සැලකිය හැකිය.ඔස්සේ සිදු කර තිබේ. ගේය පද රචනය හා සංගීතය මෙන්ම ගායනය යන සියලල්කම එක්ව මනාසේ පරිපූර්ණ ගීතයක් ලෙසින් මෙම ගීතය සැලකිය හැකි ය.

